
සඳ තරු නිහඬයි
සම්මානයක් යනු කිසියම් කර්තව්‍යයක උසස් තත්වය සඳහා පුද්ගලයෙකු වෙත පිදෙන වටිනාම අගැයීමකට. මා එසේ කෙටියෙන් පැවසුවත් එය විවිදාකාරයෙන් නිර්වචනය කිරීමට පුලුවන. කලාකරුවෙකුට තමා නියැලෙන අංශයකට අදාලව සම්මානයක් හිමිවීම තරම් සතුටක් තවත් ඇතැයි මා සිතන්නේ නැහැ. එය හිතෙහි පවත්නා සිහිනයකි. එසේවුවද තරගකාරී ලොව තුල එවැන්නක් හිමිකර ගැනීම ලෙහෙසිපහසු නැත.
අද මා පවසන්නේ ඉහතකී සම්මානය සම්බන්ධව ඉදුරාම වෙනස් සිදුවීමක් මෙන්ම ඒ හා බැඳී අපූරු වටිනා චරිතයක් පිලිබඳවය. ඔහු අප රටේ දක්ශතම සංගීතවේධියෙකි.
1983 වසරේ තිරගතවූ ‘මුහුදු ලිහිණී’ චිත්‍රපටය සඳහා තමා වෙත පිදුනු හොඳම සංගීත අධ්‍යක්ෂවරයා සම්මානය ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු අදීනත්වයෙන් යුතු විය. වේදිකාවට පැමිණි ඔහු මෙම සම්මානය හිමිවිය යුත්තේ ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයේ සංගීතය සැපයූ ප්‍රවීණ සංගීතවේධි ප්‍රේමසිරී කේමදාසයන් හට බවත් එය තමාගේ කාර්‍යයට වඩා ඉදිරියෙන් ඇති බවද පැවසුවේය. මෙවැනි දෑ ලෝකයේ අගැයුම් අවස්ථාවන්හිදී සිදුව ඇතත් එයද ඉතා අල්ප වශයෙනි. එම නිසාම අප රටේ වූ මේ සිදුවීම කතාබහට හා ආන්දෝලනයට තුඩුදෙන කාරණාවක් වුනා. ‘අපේ කාලයේ වීරයෙක්’ යන හෙඩිම යටතේ පසුදිනෙක දිවයින පුවත්පතේ සිනමා හා කලා තොරතුරු අතිරේකයේ මෙම සිදුවීම වාර්තා විය.
ඔහු නිර්මාණයට උපරිම සාදාරනත්වයක් ඉටුකිරීමට හැමවිටම උත්සාහ කල අයෙක් බව පහත මා දක්වා ඇති නිදසුන් දෙස බැලීමෙන් හා ඊට ඔබ තුල ඇති කැමැත්ත තවදුරටත් තහවුරු කරනු නොඅනුමානය.
——————-
* සඳ තරු නිහඬයි
ගහ කොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදිවෙලා….
* හාමුදුරුවනේ දනක් බෙදන්නට
හයි හත්තිය නෑ දැන්….
ඉස්සර නම් දවසක් හැර දවසක්
පන්සල් එනවා මම්……
* ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ….
ඔබයි සෞම්‍ය තරු එලිය
ගිම්හාන කාලේ…..
* දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැම කල්…
* වාසනා වේවා… වාසනා වේවා….
පින්බර යුවතී කුල කුමරිය වී
මංගල මල් නැකතේ……
* රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්…
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්….
* ඇය යන්න ගියා මැකිලා…
වන සිරසක තුරු සෙවනැලි අතරේ….
* මිණි මිණි පොදේ ලා ඇඳුරේ
තෙමි තෙමි ගියදා….
ඉඳහිට අදත් සිහිවෙනවා
හිරි පොද දැකලා….
* සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැලපෙනවා…..
* මාල ගිරවියේ.. මාල ගිරවියේ….
මට නුඹත් එක්ක අපේ ගමට
පියාඹන්න ආසයි….
* වී පැදුරෙන් ඉගිලී යන
කුරුල්ලෙකු ලෙසින්….
* වීනාවී උර තලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න
වීනාවී……
* තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි…
————-
මේ ඔහු තැනූ මිහිරෙන් අනූන ගී තනු අතරෙන් කිහිපයක් පමණි. නොයෙකුත් භාදා අවහිර මැද්දේ නොනවත්වා සුන්දරව ගලාගෙන ගිය මේ ගීත ගඟුල නොසිතූ විරූ ලෙස දෛවයේ තීන්දුවට හසුව නතරවී ඇති බැව් අද දහවලේ දැනගන්නට ලැබුණි. ඒ මීට දින කිහිපයකට ඉහතදී හදිස්සියේ අසනීපව කළුබෝවල ජාතික රෝහලට ඇතුලත් කෙරුන එච්. එම්. ජයවර්ධන නම් සොඳුරු සංගීතවේධියාණන් අප අතරින් සමුගත් පුවතයි.
මෙතැනින් පසුව ඔබ හමුවේ තබන්නේ එතුමන් පිලිබඳව කෙටි විමසුමකි.
——————–
ඒ 1950 වසරයි. දුශ්කර ගැමි පරිසරයක් වූ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හේන් වගාව, ගොවිතැන සිය ජීවිකාව කරගත් පවුලක වැඩිමල් පිරිමි දරුවා ලෙස ඔහු උපදින්නෙ හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන නමිනි. මුල් අධ්‍යාපනය සඳහා සියඹලාණ්ඩුව මහා විද්‍යාලය කරා යොමුවූ අතර එහිදී ශිෂ්‍යත්වය සමත්ව අනතුරුව පස්සර මහා විද්‍යාලයට ඇතුලත් කෙරුණි. ගමෙන් ඈත්ව නුහුරු නුපුරුදු පරිසරයක නේවාසික ජීවිතයකට හුරුවීමට ඔහුට
සිදුවිය. මුල් කාලයේ ඇතිවූ හුදෙකලා බව නිසා ඔහු සිය පියාට ලිපියක් ලියා තමාව නැවත ගමට ගෙනයාමට කියා ආයාචනා කලද පසුව පියා සහ ගුරුවරුන්ගේ උපදෙස් මත නැවතීමට තීරණය කලේය. නේවාසිකාගාරයේ තිබ කුඩා ගුවන්විදුලි යන්ත්‍රය, ජපන් මැන්ඩලීනය සහ බටනලාවට ඔහුගේ හිත ඇති ගියා පමණක් නොව ඒ මගින් එවකට ප්‍රචාරය වුන ‘ ගලන ගඟකි ජීවිතේ..’ වැනි ගීත බටනලාව මගින් වයන්නටද පෙලඹුනේය. පී. ඒ. සුබසිංහ නම් සංගීත ගුරුවරයා මෙහිදී ඔහුගේ දක්ශතා හඳුනාගෙන ඔහුට මහත් අත්වැලක් වූ බව එච්. එම්. පවසයි. ඒ මහතා යටතේ ඔහු බටනලාව හොඳින් ප්‍රගුණ කලත් ඊට දැක්වූ වැඩි නැඹුරුතාවය නිසාදෝ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙල විභාගයෙන් අසමත් විය. මේ හේතුව නිසා යලි උපන් ගම වෙත යන ඔහු නොයෙකුත් රැකියාවන් වල නිරතවන අතරතුරේ නිවසේ සැමට හොරෙන් තවදුරටත් බටනලාව වැයීමට වගබලාගත්තේය.
ගුවන්විදුලි සේවයට අනියම් වාදන ශිල්පීන් තෝරාගැනීමේ පුවත්පත් දැන්වීමක් ඔහු නෙත ගැටෙන්නේ මේ අතරතුරේදිය. දෙවරක් නොසිතා ඉල්ලුම් පතක් යොමුකිරීමෙන් පසු පරීක්ෂණය සඳහා ඔහු කැඳවනු ලැබීය. මෙය ඔහුගේ ජීවිත ගමනේ හැරවුම් ලක්ශය සනිටුහන් කරන ගමනක් බව ඔහු එදා දවසේ කිසිසේත් නොසිතන්නට ඇත. කලින් දිනයේ කොළඹ පැමිණි ඔහු මරදාන ශාලිමාර් හෝටලයේ කාමරයක ලැගුම්ගෙන පසුදා නියමිත වෙලාවට පරීක්ෂණය සඳහා මුහුණ දුන්නේ මහත් බලාපොරොත්තු කරපින්නාගෙනය. සෝමදාස ඇල්විටිගලයන්ගේ මූලිකත්වයෙන් සිදුවූ එම පරීක්ෂණයෙන් නොසිතූ ලෙස ඔහු අසමත් වීම එච්. එම්. හට මහත් කණගාටුවක් සිත තුල ජනිත කලේය. තිර අදිටනින් පලමුව අමරදේවයන් සහ අනතුරුව පාසැලේ ඉතිහාසය විශය ඉගැන්වූ වසන්ත ඔබේසේකරයන්’ වද හමුවී මේ තත්වය පැහැදිලි කල ඔහු අමරදේවයන් ඉදිරියේදි බටනලා වාදනයක් ඉදිරිපත් කරමින් එතුමාගේ සිත දිනාගැනීමට සමත්විය. පසුදා පරීක්ෂක මඩුල්ලට අමරදේවයන්ද පැමිණ සිටි අතර එවර එච්. එම්. සාර්ථකත්වයට පත්වුනි.
එතැන් පටන් සෝමදාස ඇල්විටිගලයන්ගේ සිට පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරී, දයාරත්න රණතුංග, නන්දා මාලනී යන මෙහි නම් සඳහන් නොකල බොහො ප්‍රවීණ ගායක ගායිකාවන් සහ සංගීතඥයන්ගේ වැඩසටහන්වලට එච්. එම්. නැතුවම බැරි වාදකයෙක් විය. සරළ ගී සමත්ව වික්ටර් සනත් සහ අමරදේවයන්ගේ අත්වැල් ගායනය සඳහා නිතර ගුවන්විදුලියට පැමිණෙන මාලනී බුලත්සිංහල ඔහුට හමුවන්නේ මේ අතරවාරයේ වීම සුවිශේෂී සිදුවීමකි. ඇයගේ ඉල්ලීමක් අනුව සරළ ගී වැඩසටහනක් සඳහා ‘රජ මැදුරක ඉපදී සිටියානම්’ යන පදවැලට මිහිරි තනුවක් එක්කර සුන්දර ගීතයක් බවට ඔහු පත්කලේය. ඉන් ඉක්බිතිව මේ නවක තරුණයාගේ තනු ඔස්සේ නවමු ගීත ගඟුලක් යැයි හැඳින්විය හැකි සුභාව්ත හරවත් නිර්මාණ ගනනාවක් බිහිවෙනු දැකගන්නට හැකිවෙයි.
දැන හැඳුනුම්කම ක්‍රමයෙන් ප්‍රේමයක් බවට හැරී තිබුණෙන් මාලනී හා එච්. එම්. විවාහ දිවියට ඇතුලත් වුනි.
කාලයත් සමග දුවෙක් සහ පුතෙක් ඔවුන්ගේ කැදැල්ලට එක්වූ අතර ඒ සතුට ඔවුන්ට විඳගැනීමට හැකිවූයේ වසර කිහිපයක් පමණි. ඩෙංගු උවදුරේ ආරම්භක ගොදුරක් බවට ඔවුන්ගේ දියණිය ගොදුරු වුනේය. දියණියගේ වියෝව එච්. එම්. හට කෙසේවත් දරාගත නොහැකි වු අතර ඔහු බොහෝවිට රැය පහන්කලේ දියණිය මිහිදන් කල කනත්තේ ඇයගේ සොහොන මතය. පසුව මාලනී සහ පොලිසිය මැදිහත්වී ඔහුට අවවාද කර එය සමතයකට පත්කල බව පසුකාලෙකදී ඔහු හා පැවති රූපවාහිනී සාකච්ඡාවක් මගින් දැනගත්තෙමි. අද ඔවුන්ගේ පුතු කසුන් කල්හාර දිවයිනේ පිලිගත් දක්ශ ගායකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකි.
‘ආරාධනා’ චිත්‍රපටය තුලින් එච්. එම්. ජයවර්ධන සහ රෝහන වීරසිංහ යුගලය 1982 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන හිමිකරගත්තාය. මුහුදු ලිහිණි, කැලෑ මල්, මංගල තෑග්ග ඔහු තනිව සංගීත අධ්‍යක්ෂණය කල චිත්‍රපටය.
මිනිසෙකු පිට නැගි අසරුවෙකි, කඩමණ්ඩියේ දොල අයිනේ, අහසින් තරුවක් කඩා වැටෙනවා, මිණි මිණි පොදේ ලා අඳුරේ, ඔබ හා මෙමා අතිනත්, එක යායට මල පීදුනු, සැන්දෑ අහස වගේ, ලා දළු බෝපත්, සැන්දෑ අහස වගේ, සියල්ල ඉදිරී ගරා වැටුනදා, මධුර ප්‍රේම, පංච කල්‍යාණියේ, පෙම් ලොව දී දුටු, සිනාවකින් පුතුගෙ මුවේ, වාලුකා තලේ, නෙලාගන්න බෑ, මවයි පියයි එකතුවෙලා, පිලිම නෙලා, වැව් ඉස්මත්තේ දාගැබ් හැදිලා, වසන් කරන්නට බෑ, සෙනෙහස ඉල්ලා ලිය තඹරා මල, ඔහු තැනූ මියුරු තනු ගනනාවෙන් කොටසක් ලෙස නම් කල හැක.
2001 වසරේදී සිය ආදරණීය බිරිඳ මාලනී බුලත්සිංහලගේ හදිසි වියෝව නැවතත් ඔහුගේ සිත කම්පාවට ලක්කල සිදුවීමක් වුණා. ජීවිතයේ අවසන් කාලය දක්වාම මේ පාළුව තනිකම ඔහුව වෙලාගත්තා යැයි මට සිතේ. සංවේදී කලාකරුවන් බොහෝවිට යොමුවන ඇබ්බැහිවීම් ඔස්සේ ඔහුද තරමක් ඈතට යන්නට ඇත. ඒ කොහොම වුණත් ඔහුට තම ජීවිතේ මීට වඩා වටින්නේ යැයි සිතුනා නම් කොතරම් එකක්ද. දැන් ඒ ගැන සිතීමෙන් කතා කිරීමෙන් පලක් නැත. මේ ඔහුට උරුමවූ අවසානයයි. ඒ කෙසේවෙතත් ඔබ තැනූ මියුරු ගි නිර්මාණත් සමග ඔබ අපේ හදවත් තුල සදාකාලිකවම ජීවත්වෙන බව නම් සහතිකය.
දයාබර එච්. එම්. ජයවර්ධන ප්‍රවීණ සංගීතවේධියාණෙන., ඔබට නිවන් සුව ලැබේවා.!
~සටහන් පෙළගැස්ම~
Janaka Ilukkumbure
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…