
සුදු නෙළුම
ගීතයක් දෙස මතුපිටින් බලනවා වෙනුවට, ඒ ගැන තරමක් හෝ ගැඹුරින් අධ්‍යයනයක් කරන්නේ නම් ගීතයේ නාද මාලාව, මිනිස් කටහඬ / ගායන විලාශය සහ පදමාලාව ගැන වෙන්වෙන්ව විමසිය යුතුය. සංගීත භාන්ඩ ඇසුරින් බිහිවෙන, තාල සහ ස්වර මගින් භාව උද්දීපනය කරමින් නිමවෙන ශුද්ධ සංගීතය වඩාත් මුදු මොළොක් සහ කණට මිහිරි ගීතයක් බවට පත් කරනුයේ මිනිස් කටහඬ මගිනි.
එය වඩාත් අර්ථ පූර්ණ ගීතයක් වනුයේ පදමාලාව තුලිනි. සංගීතය ‘පරතෙරට’ හැදෑරූ බොහෝ ශිල්පීන් මුල් තැන දෙනුයේ ශුද්ධ සංගීතයටයි. ඔපෙරා වැනි සංගීතාංග වලදී මිනිස් කටහඬටද ඉහල තැනක් හිමිවේ.
සිංහල ගීත විචාරය කරන බොහෝ දෙනෙකු තම අවධානය යොමුකරන්නේ පදමාලාව කෙරෙහිය. එහි වැරැද්දක් මා දකින්නේ නැත. මන්ද, ඇතැම් පදමාලාවන්ට, සංගීතය හදාරා ඇති සහ සංගීතය හදාරා නැති සෑම අයෙකුගේම සිත් සසල කල හැකි බලයක් තිබෙන බව හැඟීයන බැවිනි. එවැනි ඇතැම් පදමාලා යතාර්ථයට ඔබ්බෙන් ඇති වෙනත් ලොවකට ශ්‍රාවකයා රැගෙන යයි.
සිංහල ගීතයේ පහන්ටැඹක් බඳු සම්මානනීය ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත, ආචාර්ය පන්ඩිත් අමරදේවයන් ගායනා කරන ‘සුදු නෙළුම’ ගීතයත් එවැන්නකි.
මේ ගීතය ගැන රත්න ශ්‍රී වියතානන්ගේ වදනක් මෙසේ දක්වමි.
“ඒ ගමට එදා විස්සකට තිහකට වැඩි පිරිසක් පැමිණ සිටියේ නැත. දෙමාපියන් පවා සිය දියණිය වෙනුවෙන් කඳුළු නොසැළූහ. ජීවිතයේ බොහෝ දුක් අනුභව කොට සිටි ඔවුන්ගේ නෙත් සිඳී තිබිණ. එහෙත් සිය සූ සැට වන ජන්ම දිනයේ උපහාර පිදුම් ලබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන්, මහැදුරු සරච්චන්ද්‍රයන් වේදිකාවේ මුලසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද, සුදු නෙළුම ගීය ගයද්දී ඇතැම්හු කඳුළු සැළූහ. ඒ කඳුළු, මල් නෙළන්නට ගොස් කළලෙහි එරී, වැව් දියේ ගිලී මියගිය ඒ දස හැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?”
—————————————
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා
—————————-
සටහන – ජනක බොරලැස්ස