• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ

July 13, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, ඩබ්. ඩී. අමරදේව, නීලා වික්‍රමසිංහ, වික්ටර් රත්නායක, සුනිල් ආරියරත්න

මිනිසා ඇතුළු සියළු ලෝක සත්ත්වයා නිර්මාණය වී තිබෙනුයේ ස්වාභාවික පරිසරයේ නියමයන්ට අනුවයි. ගැහැණිය පිරිමියාටත්, පිරිමියා ගැහැණියටත් ආකර්ෂණය වන අයුරින් බිහිවී ඇත්තේ මිනිස් ප්‍රජාවේ පැවැත්ම උදෙසාම වේ.

මේ ආකර්ශණයෙහි සීමාව ඉරක් ඇඳ පෙන්විය නොහැකි උවත්, විවිධ සංස්කෘතීන්ගේ බලපෑම සහ සමාජය විසින් පනවා ගෙන ඇති ආචාර ධර්ම සහ නීති වලට සීමා වෙයි. කෙනෙකුගේ සිත තුල ඇතිවන ප්‍රේමනීය සිතුවිල්ලක්, කාමුක සිතුවිල්ලක් බවට පත්වීමට ගතවෙනුයේ සුළු මොහොතකි.

මෙවැනි සිතුවිලි ඇතිකරගන්නා අයෙක්, එය සිත තුල සඟවාගෙන සිටිය හැක. තවත් කෙනෙක්, විරුද්ධ පාර්ශවයට අයුතු යෝජනාවක් කිරීමට ඉඩ තිබේ. සීමාව නොදන්නා කෙනෙක්, ඇතැම්විට හිංසනයට පවා යොමුවිය හැක. කෙනෙකුගේ හිත තුල රාගික සිතුවිල්ලක් ඇතිවීම ස්වාභාවික දෙයක් වුවත්, එතැනින් ඔබ්බට විය හැකි දේ තීරණය වනුයේ අප සමාජය තුලම ඇති ආචාර ධර්ම සහ නීති-රීති රාමුව මගිනි.

පිරිමියෙකු විසින් කාන්තාවකට අයුතු යෝජනාවක් කිරීම, බටහිර සංස්කෘතික බලපෑම් නිසා වර්තමාන සමාජය තුල ඇති වූවක් යැයි අපට සිතුනත්, සැබවින්ම එය එසේ නොවන බව පැරණි ජනකවි විමසා බැලීමෙන් අපට තේරුම් ගත හැක.

අතීතයේ දුර බැහැර ගමන් වල නියුතූ වූ අයගේ තාවකාලික නවාතැන වූයේ අම්බලම යි. වැසි වැටෙන අවස්ථාවක එක්තරා තරුණයෙක් අම්බලමකටවී හිඳී. අම්බලම අසලින් ගමන් කරන තරුණියකි. එවිට මේ තරුණයාට ඇය ගැන රාගික හැඟීමක් ඇතිවී ඇයට මෙවැනි යෝජනාවක් කරයි.

අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
සැමියෙක්‌ නැතිව නුඹ තනිමඟ කිමද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

වර්තමානයේ කෙනෙක් මෙවැනි යොජනාවක් කළහොත්, තරුණිය අකමැති නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. නමුත් මේ සිදුවීමේ එන තරුණියට එවැනි සහනයක් නොතිබුනි. එහෙත් ඇය අවස්ථානුකූලව සිතා මෙවැනි පිළිතුරක් දුන්නාය.

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
යඤ්ඤං අයියණ්‌ඩි ගම රට දුර හින්දා

අතීතයේ තරුණියක් ගමන් යද්දි ඇගේ ආරක්ෂාව සඳහා තමන්ගේම හෝ ඥාතිවන සොයුරෙකු කැටුව යෑම සිදුවිය. “අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න – අදින් පසුව මේ පාරෙන් ඔබ තනියෙම එන්න” යනුවෙන් ජෝතිපාල මහතාගේ ගීතයක කොටසක්ද තිබේ.

තමන් දරුවෙකු සිටින විවාහක කාන්තාවක් බවත්, ඇගේ ආරක්ෂාවට ඥාති සොහොයුරෙක් පසුපසින් පැමිණෙන බවත් පවසා ඇය උපායශීලීව තරුණයාගෙන් බේරී ගියාය. මාතෘත්වයට අප සමාජයේ ගරුකිරීමක් තිබෙන නිසා ඇය යෙදූ උපාය නිවැරදිය. බටහිරින් පැමිණි සංකල්පයක් අනුව අද මව්වරුන්ගේ දිනය ලෙස සැමරුවත්, අප සතුව ඇත්තේ සෑම දිනකම මාතෘත්වය අගය කරන සමාජයකි.

තරුණයා මඟහැර ගිය තරුණිය නිහඬව නොසිටියාය. ටික දුරක් ගොස් තරුණයාට සරදමක් කළේ මෙසේය.

අල්ලාගෙන නෙරිය මඩ ගෑ වුණෙත් නැතී
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරිත් නැතී
බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැතී
බිලිඳෙක් තියා මා දීගෙක ගියෙත් නැතී

සුනිල් ආරියරත්න මහාචාර්ය තුමා, ‘නඟේ නඟේ වැහි එනවා’ ගීතය රචනා කරද්දී උක්ත ජන කවි වල ආභාශය ලැබුනාද යන්න ගැන අදහසක් මාහට ඇතිවිය. කෙසේ නමුත් ජන කවි කියූ සාමාන්‍ය ගැමියන්ටත් වඩා සංයමයකින් මහාචාර්ය තුමා මේ ගීය ලියා තිබේ. අමරදේව සූරීන් එයටම ගැලපෙන තනුවකින් මේ ගීය අලංකාර කර ඇත.

වික්ටර් රත්නායකයන්ගේ අනුරාගී පිරිමි කටහඬත්, නීලා වික්‍රමසිංහ ගේ අවිහිංසකත්වය පිරුණු ගැහැණු කටහඬත් මේ ගීය උච්චත්වයකට රැගෙන ගොස් ඇත

————————————————————-

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ…

වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ…

ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ…

කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ…

————————-
Janaka Boralessa

Victor Rathnayake

පාළු රැයක දෑස පළා – වික්ටර් රත්නායක

June 5, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, ප්‍රේමකීර්ති ද අල්විස්, වික්ටර් රත්නායක

විරහව උත්සන්න ම කර ලියූ පද රචනය කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත්, ඔබට ඕනෑ තරම් ගීත මතක් වේවි.

පන්ඩිත් අමරදේවයන් ගායනා කළ,…. ‘මා මළ පසු සොහොන් කොතේ..’
නන්දා මාලිනියගේ,… ‘මා හඬනා කඳුළු ගලා..’
මහාචාර්ය සනත් නන්දසිරිගේ,…. ‘සොවින් පිරි මගේ හදවත’,
සුනිල් එදිරිසිංහයන්ගේ,… ‘මේ කඳුළු බිංදුව’
ගුණදාස කපුගේ ගේ,… ‘දුක හාදු දෙන රැයේ..’
ජෝතිපාලයන්ගේ,… ‘පාළු සුසානේ…’
ෂෙල්ටන් පෙරේරාගේ,…. ‘අවසන් ලියුමයි ඔබට ලියන්නේ‍..’
මිල්ටන් මල්ලවාරච්චිගේ,… ‘අඳුර වැටුණු වීදියේ’..’
මිල්ටන් පෙරේරාගේ,… ‘කොමළ ලියා.. බොළඳ ලියා..’
ප්‍රියා සූරියසේනගේ… ‘නිල් මහනෙල් මල කිම මේ සරදම්..’,
ටී.එම්. ගේ,… ‘සිතින් මා නොසැලී හිඳිද්දී…’
මාලිනී බුලත්සිංහල ගේ…., ‘හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬුමට’…
වික්ටර් රත්නායකයන්ගේ,… ‘එපා හිරු පායන්න’ වැනි ගීත ඔබට මතක් වේවි.

නමුත් මේ කිසිදු ගායන ශිල්පියෙකු හෝ ශිල්පිනියක්, වර්තමාන විරහ ගී ගායකයන් මෙන්, කඳුළු වගුරුවමින් විරහව මුහුණෙන් පෙන්වන්නට උත්සාහ කළේ නැත. විරහව ශ්‍රාවකයා තුලට රැගෙන ආවේ ඔවුන්ගේ කටහඬ තුලින්මය.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනාකල එතරම් ජනප්‍රිය නොවූ විරහ ගිතයක් තිබේ. ‘විරහව උත්සන්න ම කරමින්’ ඔහු ගැයූ ගීය මෙය යැයි මට සිතේ. පද මාලාව ලියුවේ කවුරුන්දැයි නොදනිමි. එහි ඇති වචන අනුව බොහෝ විට මෙය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියූවක් විය යුතුය.

මේ ගීතය අසන සංවේදී ශ්‍රාවකයෙකුගේ දෙනෙත කඳුළු වලින් පුරවාලන්නට, වික්ටර් රත්නායකයන් සමත් වේ. ඔහු එසේ කරනුයේ ඔහුගේ හඬිනි. ප්‍රවීණත්වය යනු එයයි.

පාළු රැයෙක දෑස පළා
ගැලූ කඳුළු සදා රකිමි
ඔබේ කඳුළු ඔබට වඩා
ළයේ තබා මම සුරකිමි

මටත් වඩා මට පෙම් කළ
ඔබ ගැන මම කවක් ලියමි
සදාතනික ආදරයක
සිහිටවනය ඔබෙන් නෙළමි

නටඹුන්වූ ආදරයක
සුන්බුන් මැද සදා සරමි
අප ගිය මඟ දුහුවිලි ගෙන
ඔබේ දෙපා සුවඳ සොයමි

අප හමුවූ අප වෙන්වු
අහස යටම හඬා වැටෙමි
ඔබ හැර මට පතන්න තව
කෙනෙක් නොමැත තනිව මියෙමි..
—————————
Janaka Boralessa

Jothi, VIctor and Prabudhdha

ජෝති, වික්ටර් හා ප්‍රබුද්ධ.

April 24, 2017 by admin
එච්.ආර්. ජෝතිපාල, දිලීප අබේසේකර, මහගම සේකර, වික්ටර් රත්නායක, ස

දිලීප අබේසේකර (රාවය පුවත්පත, 2012 ජූනි 3)

ප්‍රබුද්ධ ගායකයෙකි, සංගීතඥයෙකි. අනේක රසිකයන්ගේ ආදරයට පාත්‍ර වන්නේය. මේ නිසා නොබෝ කලකින් ඔහු හඬට මිලක් එකතු වී මහා තරු ප්‍රතිරූපයක් බවට හැරේ. එහෙත් මේ සියුමැලි කලාකරුවාට සතුටක් නැත. අවසානයේ හේ සියලු සංකූලතා මැද ජීවතාවබෝධය ලබන්නට උත්සාහ දරයි. මේ සම්මා වායාමය ඔහුගේ කලාටද වඩා පොදු ජනතාවගේ හිත සුව පිණිස වේ.

මේ කියන ප්‍රබුද්ධ අපට හමුවන්නේ මෙරට පහළ වූ දාර්ශනික තලයේ  කලාකරුවකු වන මහගමසේකරගේ එනමින් සුපතළ මහා කාව්‍යයෙහිය. 1977දී එය පළවන විට ඔහු අප හැරගොසිනි.  ඊට පසුබිම් වනුයේ 70 දශකයේ මුල් භාගයේ මෙරට සමාජය අත්දුටු දෑය. එය අද්විතීය යුගයකි. මෑත ඉතිහාසයේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන 56 දේශජ සංස්කෘතික පෙරළියේත් 60 ගණන් වල ලෝකය පුරා පැතිරී ගිය ලිහිල්, ලිබරල් මතවාදී දැක්මේත් අනුහස් එකට සංකලනය වූ කාලයකි මේ. එහෙත් එහි දිශානතිය වෙනස් කරන්නට 71 තරුණ නැගිටීමේ කම්පනය හේතුවන්නට ඇත. අසනහකාරී තරුණයන්, කම්පිත වැඩිහිටියන් යම්තාක් දුරට සමනය කරනු ලබන්නේ කලාව විසිනි. ඒ අතරින් ගීතයත්, ගායකයාත් ඔවුනට වඩාත් සමීප වීම ජන මූලික කවි සම්ප්‍රදායක් ඇති රටෙක පුදුමයක් නොවේ. මහගම සේකර සිය ආත්මකථනය රැගත් කෘතියේ ප්‍රධාන චරිතය ගයකයකු කරන්නේ ඒ හේතුවෙන් විය නොහැකිද? ගායකයා සංවේදීය. අප කාගේත් දුක, සතුට අපට වඩා හොඳින් ඔහු  ගයයි. ඉන් සියුම් වන අපේ මනෝභාවයන් ප්‍රඥාව වෙත විවරවීමට ඇති ඉඩකඩ වැඩිය. එය නිවීමට හේතුවකි. පෘථුල ප්‍රඥයාටත් සාමාන්‍ය සහෘදයාටත් එක සේ ගෝචර වන අන්දමින් සරලව, සංක්ෂිප්තව පිටු 100කට නොවැඩි ප්‍රබුද්ධ කාව්‍යයෙන් මහගමසේකර ඉදිරිපත් කරන්නේ මේ දර්ශනයය.

සැබෑ ජීවිතයේදී ඔහු දුටු පරමාදර්ශී ගායකයා, සංගීතඥයා අමරදේව බවට සැක නැත. එහෙත් ප්‍රබුද්ධ ලියන කාලය වන විට ජනතාව රොද බැඳ සිටි තවත් චරිත දෙකකි.

චංචල අඳුරු ලොවේ, නිසංසල සීතල පරම සුවේ.

ඉන් අයෙකි වික්ටර් රත්නායක. සංගීතය හැදෑරීමේ අභිලාෂයෙන් කඩුගන්නාවේ සිට කොළඹ පැමිණ,රජයේ සංගීත විද්‍යාලයෙන් නොහොත් දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගත් හේ 60 දශකය මැදදී, ගුවන්විදුලියේ ගැයූ මුල්ම සරල ගී කිහිපයෙන් රසික හද බැඳගන්නට සමත් වූයේය. පාවේ වලා, සෝක සැනසුම් වේදනා, මයුරාසන මත වැඩ හිඳිනා මෙන්ම ගොළු මුහුදේ මුතු ඇටේ වැනි ගීතවලින් පුළුල් පරාසයක් ඔස්සේ තම අනන්‍යතාව සලකුණු කළ ඔහු,  වැඩිකල් යන්නට මත්තෙන් සහෝදර ගායක ගායිකාවනට තනු නිර්මාණය කරමින් විචිත්‍ර සංගීතඥයකු බවට පත්විණ. තුරුණු වියේදීම චිත්‍රපට පසුබිම් ගයනයට පිවිස, සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු වීමේ වරමද හිමිකර ගැනීමෙන් වික්ටර් රත්නායකගේ ප්‍රතිභාව කෙතරම් වීදැ’යි වටහා ගතහැකි වේ. ඔහු වාසනා ගුණයේත්, ප්‍රතිභාවේත් අධ්‍යාපනයේ හා අභ්‍යාසයේත් අග්‍රඵලලාභියෙකි.

1973 ජූලි 20දා ඔහු ‘ස’ ප්‍රසංගයත් සමග කොළඹ ලුම්බිණි රඟහල් වේදිකාවට නැග්ගේ ගව්, දහස් ගව් ඉදිරියට දිවෙන රසෝඝයකට උල්පත වන්නටය. එය මෙරට ප්‍රථම පරිසමාප්ත ඒක පුද්ගල ගී ප්‍රසංගය ලෙස සැලකේ. විවිධ ගුරුවරුන් යටතේ පෙරදිග මෙන්ම බටහිර සම්ප්‍රදායයෙන්ද සංගීතඥානය උකහා ගනිමින් ඔහු නිර්භයව ආමන්ත්‍රණය කළේ බුද්ධිමත් රසික පිරිසකටය. එහෙත් එතෙක් ගුවන්විදුලියෙන්, සංගීත සංදර්ශනවලින් හා චිත්‍රපට තුළින් ඔහු හඳුනාගෙන සිටි පොදු රසිකයෝද එම ශාලාවේ අසුන් ගත්හ. ඔවුන්ගේ බලාපොරොත්තු අභිබවා යාමට වික්ටර් සමත් වූ අතර ඔහු වටා සිටි නව පරපුරේ ගීත රචකයන්, අත්වැල් ගායක ගායිකාවන් හා වාදකයන්ගෙන් සමන්විත ‘ස’ පිරිවර සිංහල ගීත වංශයට එක්විණ.

කිඩාරම් මලේ පවා සුවඳ දිගහැරේ.

වික්ටර් රත්නායක 70 නව රැල්ලේ සංකේතය වී නම් පොදු ගීත රසිකයන්ගේ අසහාය වීරයා වූයේ එච්.ආර්. ජෝතිපාලය. සින්දු කීමේ ආශාවෙන් පෙළුණු කුඩා ජෝති කොළඹ කැටවලමුල්ල, දෙමටගොඩ, මරදාන ආදී ප්‍රදේශවල එවකට රේඩියෝ යන්ත්‍ර තිබුණු කඩපිල් ගානේ ගැවසෙමින් ඉන් ඇසුණු හින්දි ගීත නැවත ගායනා කළ  බවට නූතන ජනශ්‍රැතියකි. දැඩි ආයාසයෙන් 1950 ගණන්වල මැද භාගයේ ගීත ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුවද ඔහු හින්දි තරු අනුසාරයෙන් සිංහල ගීත ගැයීමට පුරුදුව සිටියේය. එකල එවැනි දෑට ඉල්ලුමක් වූ බව සිහිපත් කළ යුතු වේ. මේ නිසා ජීවිතාන්තය දක්වා දැඩි විචාරක දෝෂාරෝපණයට බඳුන් වූ ජෝතිපාල අතින් සැබවින්ම සිදුවූයේ, හින්දි ගීත රැල්ලකට යටවෙමින් තිබුණු යුගයක එය අභිබවා රසිකයන් අතර සිංහල ගීතම ජනප්‍රිය වීම නොවේදැ’යි සිතනු වටී. එම සතත අභ්‍යාසය නිසා කිසිදු දිනක සංගීතය නොහදාරා වුවද සිය ගායන මාධූර්යය ඔප් නංවා ගන්නට ඔහුට හැකිවිය. චිත්‍රපට පසුබිම් ගායනයේදී විවිධ නළුවන්ගේ රූපයට සම කරන්නට ජෝතිපාගේ හඬ තරම් සුනම්‍ය හඬක් තවත් නොවූ බව කියනු ලැබේ. සංදර්ශන වේදිකාවට ජෝති නැතිවම බැරිවිය. ඔහුගේ අලුත් සිංදු රැගත් ගී තැටි අලෙවි වූයේ දහස් ගණනෙනි. දේශජ සංගීතඥයන් මුණගැසීමත් සමග කෙමෙන් එච්.ආර්. ජෝතිපාලගේ ආර රූපාන්තරණයට ලක්වන්නේ 70 දශකයේදීය. රාගධාරී සංගීතයට ටජ්මහලක්, සල් සපු නා, නිසසල හදවත වැනි ගීතද; ජන සංගීත ආරෙන් දිය පොදක් වෙමින, රන් ඇට පොට රිදී හවඩි යන නිර්මාණද; බටහිර සංගීතානුසාරයෙන් මල් පිබිදෙන එක වසන්ත සමයක, ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා, නීල දෑස පුරා, ඔබ නිදන්න ඔබ නිදන්න, දුරකතනයකින් ආදී නැවුම් ගුණයෙන් යුතු ගී පෙළක්ද ඉදිරිපත් කරමින් ජෝති ජනාදරයේ හිනි පෙත්තෙහිම රැඳිණ. එහෙත් ජීවත්ව සිටියදී කිසිදු විචාරකයකුගේ අවධානයට නොතරම් වූ එච්.ආර්. ජෝතිපාල අත්නොහළේ, ඔහුගේ හඬේ අගය හා ජනතා ආකර්ෂණය වටහාගෙන සිටි ප්‍රවීණ ගී පද රචකයන්, සංගීතඥයන් අතළොස්සක් පමණි.

හා එන්න ප්‍රීතිවන්න ගී කියන්න පෙම්බරෝ

ප්‍රබුද්ධ කාව්‍යයේ එන මේ ගීතය මනඃකල්පිතය. එච්.ආර්.ජෝතිපාල කරළියට ආවේ එවැනි පද පේළි රැගත් සින්දු වලිනි.  ජෝතිට ගීයක් ලියන්නට මහගමසේකර කැමැත්තෙන් සිටි බවට ජනප්‍රිය මතයක් පවතින්නේය. එහෙත් එවැන්නක් ලියැවුණ ලියැවුණේ නැත. වික්ටර් රත්නායකට ඔහු රචනා කර ඇත්තේ ගීත 4ක් පමණි. ඉන් අඩවන් දෑසින්, අවදිවෙයන්, සරා සොඳුරු මල්( නන්දා මාලිනී සමඟ) යන ගී, චිත්‍රපට දෙකක් සඳහා ලියූ ඒවාය. ඈත එපිට ගම්මානේ යනුවෙන් වෙළෙඳ සේවා තැටියකට ගැයූ ගීයකි.

පොදු සමාජය තුළ මේ දෙදෙනාගේ භූමිකා මහගමසේකරගේ අවධානයට පාත්‍ර නොවීයැ’යි සිතනු නොහැකිය. ප්‍රබුද්ධගේ චරිතයේ මුල් ස්වභාවය නොහොත් කතාවේ මුල් අදියර කවියට නගද්දී, වික්ටර් හා ජෝති කේන්ද්‍ර කොටගෙන එකල ගීත ක්ෂේත්‍රයේ පැවති ප්‍රවණතාව ඡායාමාත්‍ර වශයෙන් හෝ කෘතියට එක්වී ඇති බව පෙනෙයි. නිර්මාණය එකම අභිලාෂය කරගත් ප්‍රබුද්ධටද වික්ටර් හා ජෝතිට මෙන් වැඩිකල් යන්නට මත්තෙන් විශාල රසික ආකර්ෂණයකට පාත්‍රවන්නට සිදුවන්නේය. ඔවුන් ඉල්ලන්නේ වෙනත් දෙයකි  ගුත්තිලයේ කවි දෙපදයක් උපුටා ගනිමින් මහගමසේකර, ප්‍රබුද්ධගේ මධ්‍යම පාන්තික රසිකයන් මුවගට නගන මේ වචනවල ඇති උත්ප්‍රාසය බලන්න.

‘ඇදුර තුටු නොවෙතියි
නොසිත’ප සිප් නොදනිතියි
පොප් ගීයක් කියයි
කියා අප හැම දෙනම හිතුවයි’

මෙසේ දිගින් දිගටම සරල, පොදු රසිකත්වයට සරිලන නිර්මාණ කරන්නට යෑමේදී කලාකරුවාගේ හෝ කලාවේ හෝ වර්ධනයක් සිදුනොවන්නේය. නිර්මාණ අබිබවා ප්‍රතිරූපය ඉස්මතු වෙයි. එච්.ආර්. ජෝතිපාලට අත්වූයේ ඒ ඉරණම නොවේද? ‘ස’ ප්‍රසංගයට ලැබුණු පෙර නොවූ විරූ රසික ප්‍රතිචාර මැද වික්ටර්ටද එයින් ගැළවෙන්නට හැකිවේදැ’යි එකල සැක සංකා පළවීනම් එය යුක්තිසහගතය.

එක්තරා කතාවකට අනුව වික්ටර්ගේ කෙස් ගස් ගලවාගන්නට පවා සැරසුණු රසික පිරිස් සිටි බව කියැවේ. දිගු කෙස් වැටියෙන්ද, බෙල් බොටම් කලිසමට උඩින් ඇඳිහ  කුර්තාවෙන්ද, අත රැඳි සිතාරයෙන්ද සමන්විත තරුණ වික්ටර් රත්නායකගේ පෙනුමමය 70 දශකයේ මුලදී රවි ශංකර් හමුවන්නට ඉන්දියාවට පැමිණි සුප්‍රකට බීට්ල්ස් කණ්ඩායමේ සාමාජිකයන්ට තිබුණේ.

ජෝති මෙන් ලේස් රෙද්දෙන් මැසූ කමිස හා පුළුල් බඳ පටිවලින් සැරසුණු තරුණයෝද වූහ. මේ ප්‍රතිරූප කෙරෙහි එකල පැවතියේ ඉන් පෙර සිනමා නළු නිළියනට පමණක් හිමි වූ ආකර්ෂණයකි. එය සමාජයේ පහළ ස්ථරවලද, ඉහළ මධ්‍යම පන්තිය හා ප්‍රභූන් දක්වාද පැතිර තිබිණ. පසුකලෙක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා එම ආර්යාව වික්ටර්ගේ අපි ඔක්කොම රජවරු ගීතයට ප්‍රියතාවක් දැක්වූ බව ප්‍රසිද්ධ විය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් වික්ටර්ට හා ජෝතිට ගීත රචනා කරදෙනු ලැබිණ. ඊට කලින් මහගමසේකර මෙසේ ලිවීය.

‘..උඩුමහල් හා සඳලුතලවලින්
ඒ කටහඬ බැස ගොසින්
ගැලී ගම් නියම්ගම් දනව්වල
කොලු කුරුට්ටන් අතරට,
ඇන්දෝය ඉන්පසු  ඔවුහුද  බෙල්බොටම්
බැන්දෝය මහ පටි සම්.
නැටුවෝය හන්දිවල සැදී කණ්ඩායම්. .’

තරුණ තරුණියන්ගේ චර්යාවනට පමණක් නොව චින්තන රටාවටද මොවුනගේ නිර්මාණ, බලපෑ බව කිව යුතුය. ජෝතිගේ ගීතවලින් වර්ණනා කැරුණු අන්දමේ අකලංක ආදරියක සෙවූ රසිකයෝද, වික්ටර් චිත්‍රණය කළ සුළකල් පෙම්ලොව සැරිසරන්නට කල් බලමින් සිටි රසිකාවෝද වූහ.

මෙරට විශාලතම වෙළෙඳ අගයක් තිබූ ගායකයා එච්.ආර්. ජෝතිපාල බවට විවාදයක් නැත.ඔහුගේ ගී තැටිවලට පැවති ඉල්ලුම හැරුණු කොට ජෝති පසුබිම් ගීත ගයන ඕනෑම චිත්‍රපටයක් වෙත ජනතාව ඇදෙන තත්වයක් එදා තිබිණ.හුදු රසිකයන් ලෙසින් මෙන්ම ලාභ වාසි අත්කර ගැනීමේ අරමුණෙන්ද මේ චරිත වටා ව්‍යාපාරිකයන් රොක් වූ බව නොරහසකි. සංගීත සංදර්ශන සංවිධානකරුවන්ගේ සිට මහා සමාගම් හිමිකරුවන් දක්වා මේ අති ජනප්‍රිය කලාකරුවන් තම කටයුතුවලට කිසියම් ආකාරයකින් සම්බන්ධ කරගැනීමට කල් යල් බැලූහ. ප්‍රබුද්ධටද එසේම වී,

‘. හෙලුවෝ ගිජු දෙනෙත්
ව්‍යාපාර හිමිකරුවෝ
නොව ඔහුගේ කටහඬට
ඉන් ලද හැකි ලාභයට,

හනා සූකිරි ප්‍රේමයට
හරවා අනුරාගයට
පෙරුවේය ඔහු තම කටහඬ
එතැන් සිප සංගීත තැටිවලට,
විකිණින දහස් ගණනින්
ඒ සුරා තැටි.

ගලා ගිය කටහඬ
හැරී ආවේ ආපසු
රිදී රුපියල් විලසිනි.’

බොහෝ කලාකරුවන් අතිශය පුහුදුන් මිනිසුන් බවට පත්වන තැන එතැනය. මෙසේ කියන්නේ ධනයට අධිපති ලක්ෂ්මි දෙවඟන ගෙට එන විට, කලාවේ සංකේතය වූ සරස්වතිය පෑල දොරින් පැන යන බවට ප්‍රකට අදහසින් පමණක් නොවේ. එතැන් සිට අවංක රසිකයන්ට පමණක් නොව තමුන්ටද තමුන් නැතිවන අසරණ තත්ත්වයක් උදාවන බව කලාකරුවා දත යුතුය.

‘ලැබුවද කොතෙක් දන
නැගුණද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට.’

එවක සිය ජීවිතයේ වඩාත් පරිණත අවධිය ගෙවමින් සිටි මහගමසේකර ප්‍රබුද්ධ කාව්‍යය ලියන්නේ සහෘද කලාකරුවන්ට, රසිකයන්ට හා අනාගත ජන සමාජයට පණිවුඩයක් ලෙසිනි. එදා වූ සංසිද්ධීන් මතු එළඹෙන ඛේදනීය තත්වයක පෙරනිමිති සේ ඒ මහා කවියා දකින්නට ඇත්තේය.

ලෝකය තනි යායෙකි.

මහගමසේකර 1976ට ආසන්න කාලයේ සිතුවාටත් වඩා අනාගතය බොහෝ ව්‍යසනකාරී වූ බව අෂි දනිමු. සමාජයට අනුරූපව කලාවද කලාකරුවන්ද වෙනස් වී ඇත. කලාවටත්  දේශපාලනයටත් වඩා මිනිසුන්ට බලපෑම් කරන්නේ ජනමාධ්‍ය සංස්කෘතියදැ’යි සිතේ. මේ සියල්ල හසුරුවන බලවේගයයි මුදල්.

එච්.ආර්. ජෝතිපාලගේ  පියවි ජීවිත කාලය 1987දී නිමා වුවත් ඔහු අදත් මෙරට ජනප්‍රියම ගායකයාය. කිසියම් ගුවන්විදුලි නාලිකාවක අවම වශයෙන් පැයකට වරක් හෝ ඔහුගේ ගීයක් වාදනය වන බව කියැවේ. එම නිර්මාණවලට කිසිදු සම්බන්ධයක් නැති ජාවාරම්කරුවෝ රිං ටෝන්, ඩවුන්ලෝඩ් ආදී නවීන මාධ්‍ය අංග උපයෝගී කරගනිමින් ජෝති කිසිදා නොදුටු, නොඇසූ තරමේ මුදල් සම්භාරයක් රැස්කර ගනිති.

එහෙත් ජෝතිගේ ගී අසා සිංහල ගීතය ප්‍රිය කරන්නට පටන් ගන්නා තරුණ රසිකයෝ කිසියම් අවස්ථාවක වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය අත්විඳින්නට යන්නාහ. දශක 5ක් මුළුල්ලේ අනේක වූ වේරම්බවාත හමුවේ නොසැලී, සක්‍රීයව සංගීත නිර්මාණයේ නියැලී සිටින වික්ටර්ගේ ‘ස’ තරම් ජයකෙහෙළි නැංවූ ගී ප්‍රසංගයක් එදා මෙදාතුර බිහිවී නැත. එය වේදිකා ගතවන්නේ කොතැනද, කිසිදු ආයාසයකින් තොරව සියලු අසුන් පිරී යන්නේය. 1400 වැනි වරටත් එය එලෙසින්ම සිදුවනු ඇත. එම බුද්ධිමත් රසික පිරිස අතරේ මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍යය ඇසුරු කරන්නට පෙළඹෙන්නෝ නොසිටිත්ද? තවමත් ඒ හා සමාන ජනප්‍රියත්වයට පත් වෙනත් කවි පොතක් ගැන අසන්නට නැත. එහි අගය අකාලිකය.

මේ කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ අවංක ගුණයෙන් යුතුවීමද මීට හේතුව? ජෝති යශු ආනන්දයක් නම් වික්ටර් ප්‍රඥාවට අප ළං කරයි. ප්‍රබුද්ධ තුළ අපට දැනෙන්නේ නිවීමය. මේ අත්දැකීම වෙන් කළ නොහේ. ප්‍රබුද්ධ කාව්‍යයේ එක් තැනක එන හුදෙකලා වැකියකින් කියන පරිදි ‘ලෝකය තනි යායකි’.

Karu and Prem

කරු සහ ප්‍රේම්ගේ ගුරු ගෝල ගීතය.

April 21, 2017 by admin
Dileepa Abeysekera, එච්.ආර්. ජෝතිපාල, එම්.කේ. රොක්සාමි, කරු සහ ප්‍රේම්ගේ ගුරු ගෝල ගීතය., කරුණාරත්න අබේසේකර, ප්‍රියා සූරියසේන, ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රේමසිරි කේමදාස, මර්වින් පෙරේරා, මිල්ටන් පෙරේරා, මොහොමඩ් සාලි, යූ.ඒ.ඇස්.පෙරේරා, වික්ටර් රත්නායක

දිලීප අබේසේකර (රාවය පුවත්පත, 2012 ජූනි 3)

ආකර්ෂණීය හඬින්ද, ප්‍රිය වචනයෙන්ද අකුරු දෙකකට ලඝු කළ මුල් නමින්ද කලෙක ගෙයක් ගෙයක් ගානේ හැඳිනූ කරු සහ ප්‍රේම්, අනුප්‍රාප්තිකයන් ගැන මිස ගුරු ගෝල සබැඳියාවන් ගැන කතා අඩු සිංහල ගීත වංශයේ හමුවන ආදර්ශමත් ද්විත්වයකි. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ චතුරම නිවේදකයන් වූ මේ දෙන්නා ඉන් ඔබ්බෙහි ජන විඥානයට අතිශයින් සමීප ගී පද රචකයන් ලෙස පිළිගැනෙති. අසාමාන්‍ය ප්‍රතිභාවකින් හා අනන්‍යතාවකින් හෙබි ප්‍රේමකීර්ති ද අල්විස් මුව පුරා, නිතිපතා පැවසූයේ කරුණාරත්න අබේසේකර තමනට ගුරු වූ බවය. ජනප්‍රවාදිත ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් දෙනෝදාහක් දක්ෂයන් පෝෂණය කළ කීර්තිමත් ‘කරු අයියා’ගේ  නමගිය ගෝලයාය ප්‍රේම්. රූපවාහිනී නොතිබුන සමයේ ගුවන්විදුලිය හරහා වදනින් රූප මවමින් අබේසේකර කළ මෙහෙය, රූප මාධ්‍යයේදී ඇහැට පෙනෙන දෙයට වඩා යමක් දන්වමින් ප්‍රේමකීර්ති ඉටු කළ බව මේ යුග දෙකෙහිම ජීවත් වූවන්ගේ මතකයට නැගෙනු නිසැකය. විටෙක අසන්නන්ට මේ දෙදෙනාගේ කටහඬ පැටලිණ.  ඇතැම් ගීත රචනාද මේ කරූගේ මේ ප්‍රේම්ගේයැ’යි වෙන් කොට හඳුනාගන්නට අසීරු අවස්ථා ඇත. එහෙත් ඊට වඩා සියුම් ආකාරයෙන් මේ දෙදෙනා සමාන, සමාන්තර හා සමගාමී වෙති. එය අහඹුවක් ලෙස නොසලකා හරිනු බැරි තරමට අපූරුය, ආස්වාදජනකය.

වයස අවුරුදු 12දී, එනම් 1952දී කරුණාරත්න අබේසේකර ලංකා ගුවන්විදුලියට එන්නේ සිරි අයියා නොහොත් යූ.ඒ.ඇස්.පෙරේරා මහතාගේ මගපෙන්වීමෙනි. ළමා ගීතයෙන් සරල ගීතයටත් එතැනින් චිත්‍රපට ගීත රචනයටත් පිවිසෙන ඔහුට කොළඹ කවීන්, ආනන්ද සමරකෝනුන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මර්සලීන් ජයකොඩි පියතුමන් වැනි අප්‍රමාණ මිනිසුන්ගේ කලාව ආදර්ශ වන්නේය. චිත්‍රපට සඳහා සින්දු ලියන්නට ඉන්දියාවට ගිය විටකදී ඒ ක්‍රමය ගැන කලකිරීමෙන් සිටි ආනන්ද සමරකෝන් මහතා: ‘උඹලා මේක අතහරින්න එපා. නැතිනම් මේ අය (ඉන්දියානුවන්) සිංහල ඉගෙන ගෙන මේ වැඩෙත් කරයි.’ යනුවෙන් තමනට දැනමුතුකම් දුන් බව අබේසේකර විසින් නිතර සිහිපත් කරන්නට යෙදිණ. ප්‍රථම සරසවි සම්මානෝත්සවයේ නිවේදන කටයුතු කරද්දී එදින හොඳම ගීත රචනයට සම්මාන දිනූ මානවසිංහයන්: ‘කොලුවෝ උඹත් කවදහරි මේ වගේ තෑගි ගන්න ඕනෑයැ’යි කරු දිරිමත් කළ බව ප්‍රකට කතාවකි.

මේ ප්‍රියමනාප චරිතයට දැඩි ලෙස ඇළුම් කළ, ඔහුට වඩා දාහත් වසරක් බාල ප්‍රේමකීර්ති 19612දී කරුණාරත්න අබේසේකරගේ ගුවන්විදුලි ළමා වැඩසටහනකට සහභාගි වන්නේ ගායකයකු වීමේ අභිලාෂයෙනි. එහෙත් ප්‍රේම්ගේ නිවේදන හා ලේඛන හැකියාව ඊට වඩා කරුගේ අවධානයට ලක්වේ. දිනක් රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්(නන්දසිරි)ගේ ඉල්ලීමකට ප්‍රේමකීර්ති මුල් වරට ගීතයක් ලියා දෙන්නේ ‘කාර් බොනට්ටුව මත ගීත රචනා කළේ යැ’යි ප්‍රවාදිත සිය ගුරුවරයා මෙන්ම කඩදාසියක් බිත්තියක තබාය. එය දකින මඩවල එස්.රත්නායක ප්‍රවීණයා සින්දු ලිවීම ඊට වඩා සිතාමතා කළයුතු කටයුත්තක් බව ඔහුට පවසයි.

ප්‍රේමකීර්තිත් අබේසේකරත් නිරායාස කවීන් වූ බව එම චර්යා රටාවෙන් පැහැදිලි වේ. තැනක් වේලාවක් නොබලා සමකාලීන සියලු ගායක ගායිකාවන්ටද ආධුනිකයන්ටද සමසිතින් ගීත ලියාදීම ඔවුනට දැඩි සතුටක් ගෙන දුන්නා සේය. ඉන් බොහොමයක් තමන්ගේ අත්දැකීම් වූ අතර සහෘද ශිල්පීන් ඔවුන් ලවා පෞද්ගලික හැඟීම් ගී බවට පෙරළා ගත් අයුරුද නොරහසකි. කරු එවකට ලංකාවේ වැඩිම ගී සංඛ්‍යාවක් රචනා කළ ප්‍රබන්දකයා විය. අවසානයේදී ප්‍රේම් ඔහු හා කරට කර සිටි බව අනුමාන කළ හැකි වේ. ගුවන්විදුලි, චිත්‍රපටි හා තැටි ගී හැරුණු කොට නාට්‍ය, තොරණ, විවිධ සංගම් හා පාසල් සඳහාද ගීත රචනා කරදීමට තරම් දෙදෙනා නිර්ලෝභි වූහ.තම නිර්මාණ එකතු කර තබන්නට කිසිවකුට වැඩි උනන්දුවක් නොවූවත් ඔවුනගේ හුරුබුහුටි වදන් පෙළගැසුම් අදටත් පොදුජන මතකයේ පවතී. ඒවා සියුම්ව විමසා බලද්දී පැහැදිලි වන කරුණක් නම් කරුණාරත්න අබේසේකර හා ප්‍රේමකීර්ති ද අල්විස් නුදුරු යටගියාවේ මෙරට වැඩෙමින් තිබුණු අපූරු නිර්මාණ සම්ප්‍රදායයක සමගාමී සගයන් වූ බවය.

සමාන සුඛ දුක්ඛ සහෘදයෝ.

50 දශකයේ මැද සිට 80 ගණන් වල මුල දක්වා සින්දු ලියූ කරුටද 1969 අවුරැද්දේ පටන් 89 වනතුරු ගීත රචනා කළ ප්‍රේම්ටද එවක මිනිසුන්ගේ සිතුම් පැතුම් නිර්මාණ වලට වස්තු විෂය වීම ස්වභාවිකය. මේ දෙදෙනා සාමාන්‍ය පවුල් වල පුත්තු වූහ. සරසවි අධ්‍යාපනය නොලැබුවද සරසවි බැල්මත් වාසනා ගුණයත් නොඅඩුව තිබිණ. එකල නිර්මාණ ක්ෂේත්‍රය එවැන්නන්ට තෝතැන්නක් විය. උදාහරණයකට 70 ගණන්වල මුලදී තිරගත වූ ‘වාසනා’ චිත්‍රපටය සඳහා කරු ලියූ පහත සඳහන් ජනප්‍රිය ගීයත් ඒ වකවානුවේම ප්‍රේම් ලියූ සුප්‍රකට ගුවන්විදුලි ගීතයත් සසඳා බලන අතර ඒවායේ සෙසු පාර්ශ්වකරුවන් ගැනත් සලකනු වටී.

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා
මා සනසන්න නළවන්න මගෙ වාසනා
රැව්දේ හඬ රැව්දේ සැතපී ඔබ මහදේ
ඔබ නැති නිවසක දැල්වෙන ලස්සන
පහන් මොටද රන්වන්
සිහිනෙන් ඔබ එනවා සතුටෙන්
පොපියනවා
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනිවම ඉන්නම්

(ගායනය: එච්.ආර්. ජෝතිපාල,  තනුව: ප්‍රේමසිරි කේමදාස )

මට වාසනා ඔබ මට වාසනා
උපනූපන් හැම ආත්මයේ
ඔබ මට මට ඔබ වාසනා
ඔබෙ නෙත් දොළොස්මහේ පහන වේ
කළ මැන දල්වන ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්
සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අප අපගේ මනෝ මැදුරේ වෙසෙමු සදා

(ගායනය හා තනුව: ප්‍රියා සූරියසේන)

කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්තිට ගීත රචනය ගැන ගුරුහරුකම් දුන්නේවත් ප්‍රේම් ඔහු අනුව සින්දු ලීවේවත් නැත. එහෙත් එකිනෙකා ලියූ කියූ දෑ පිළිබඳව උනන්දුවකින් සිටි බව ළබැඳියෝ පවසති. සිංහල ගීතයේ  විචිත්‍රතම යුගය ලෙස ගැනෙන ලෙස ගැනෙන 70 දශකය ප්‍රේමකීර්තිගේ නැවුම් පදමාලා එළිදුටු  සමයයි. ඒ වනවිට දිවයිනේ ජනප්‍රියතම ගීත රචකයා  ව සිටියේ අබේසේකරය. එකල නැගී එන ශිල්පියකු වූ මිල්ටන් මල්ලවාරච්චිගේ තරු අනන්‍යතාවට බොහෝදුරට පාදක වන්නට ඇත්තේ කරුගේ මෙවැනි සංකල්පනා බව හැඟේ.

ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

(තනුව: එම්.කේ. රොක්සාමි)

ඊට සමාන්තරව ප්‍රේමකීර්ති විසින් තවත් ජනකාන්ත ගායකයකුගේ සලකුණ ඉස්මතු කරනු ලබන්නේ එබඳුම සිතිවිලිවලියකිනි.

කතරක තනිවී ඔබ යනු අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනිගනී
ගිම්හානය පැමිණි එක්තැනක නොමරැඳේ
පැමිණෙන දුක් පැණි රස බව
නොසිතුණෙද ළඳේ

(ගායනය හා තනුව: මර්වින් පෙරේරා)

අතිශයින් ස්වාධීනව එහෙත් හුදෙකලා නොවී, මෙසේ සමසිත් ඇති ගායක ගායිකාවන් රැසක් සමඟ දීර්ඝකාලීන නිර්මාණශීලී සබඳතා ගොඩනගා ගත් කරු සහ ප්‍රේම්ගේ රචනා බොහෝ ශිල්පීන්ගේ අනන්‍යතාවන් වෙන වෙනම ඉස්මතු කිරීමෙහි ලා මහෝපකාරි විය.

කරු: එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මොහිදීන් බෙග්, සී.ටී. ප්‍රනාන්දු, ජී.එස්.බී. රාණි  ධර්මදාස– ලතා යුවළ, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක, සිසිර– ඉන්ද්‍රාණි යුවළ, සනත්-මල්කාන්ති යුවළ, නාරද දිසාසේකර, එම්.එස්. ප්‍රනාන්දු වැන්නන් සමඟද ප්‍රේම්: වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ප්‍රියා සූරියසේන, ෆ්රෙඩී සිල්වා, මිල්ටන් මල්ලවාරච්චි, ශ්‍රීමතී තිලකරත්න, අබේ–නිරංජලා යුවළ සමඟද විශිෂ්ට සුසංයෝග බිහි කළේය.

එකල ශූර සංගීතඥයන් ව සිටි බී.එස්. පෙරේරා, ආර්. මුත්තුසාමි, එම්.කේ. රොක්සාමි, මොහොමඩ් සාලි, සරත් දසනායක, පී.එල්.ඒ. සෝමපාල, ඩී.ඩී. ඩැනී, පැට්‍රික් දෙනිපිටිය, ෂෙල්ටන් ප්‍රේමරත්න, ෂෙල්ටන් පෙරේරා, ආර්.ඒ. චන්ද්‍රසේන, වික්ටර් දළුගම, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, සෝමපාල රත්නායක, පුන්‍යසිරි මහවත්ත වැන්නන් ඇසුරේ දෙදෙනාගේම ගීත රසාලිප්ත විය.

සමානාලංකාර

සිව්පද හා විරිත් කවියේ ආභාසය මැනවින් පළ කැරෙන කරු සහ ප්‍රේම්ගේ ගීත වල ප්‍රමුඛ ලක්ෂණය නම් සැණින් මතකයේ රැඳෙන පද යෙදුම් වේ. පාලි, සංස්කෘත භාෂාවන් හා සාහිත්‍යය ඇසුරු කළ කරුණාරත්න අබේසේකරටත් බහුශ්‍රැතභාවයම ප්‍රගුණ කළ ප්‍රේමකීර්තිටත් මෙසේ එකම ආකාරයේ සිතුවිලි හා වදන් ගලා ආවේ කිනම් ආශ්චර්යයකින්ද? දෙදෙනාගේ පහත දැක්වෙන වාග් කැටයම් ශූර ඇදුරු-සිසු දෙපළක් විසින් දෙපසක හිඳ නෙලන ලද අලංකාර මුරගල් වැන්න.

කරු: ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුවමඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා.

(ගායනය: මිල්ටන් පෙරේරා, තනුව:මොහොමඩ් සාලි)

ප්‍රේම්: කල් ගෙවා දෙනෙත් නොපියා
ඔබ ගැනම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ.

(‘තරු අත්අකුරින්’ ගායනය හා තනුව: වික්ටර් රත්නායක)

කරු: මල් පෙති පාවඩ අතුරා
ගෙට කැන්දන් එනවා
රොන්සුණු අඹරා තවරා සුවඳින් නහවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා

(‘රොනට ඇදෙන සමනලියක’ ගායනය: නිහාල් ජයවර්ධන, තනුව: නාරද දිසාසේකර)

ප්‍රේම්: සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට බාර දෙනවාමයි මගෙ තනිය

(‘මුතු වරුසාවට තෙමිලා’ ගායනය හා තනුව: වික්ටර් රත්නායක)

ප්‍රේම්: දිනෙක ඔබ සඳ වගේ හැඩයි
නැවත ඔබ ඉර වාගෙ සැඩයි
මේ වෙනස්කම නැති වුණත් කිම
දිනෙන් දින ආදරේ වඩයි

(ගායනය: ඇන්ජලීන් ගුණතිලක, තනුව: වික්ටර් දළුගම)

කරු: දිනෙක සයුර ලෙස සසල වෙලා
දිනෙක පොළොව ලෙස නිසල වෙලා
මා අඬවන ඔබ මා නළවන ඔබ
ළඟක සිටන් ඇයි නිහඬ වෙලා

(ගායනය: ලංකිකා පෙරේරා, තනුව: ප්‍රියා පීරිස්)

කරු: අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දියහැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
(‘සුරැකීමට හෝ’ ගායනය: මිල්ටන් පෙරේරා,  තනුව: මොහොමඩ් සාලි)

කරු: පරව ගිලිහෙන තුරු සියොලඟ
කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා

(‘දිනෙක රන් සළු පළඳා’ ගායනය:මිල්ටන් මල්ලවාරච්චි, තනුව: වික්ටර් රත්නායක)

කරු: පෙනුණොත් පෙනෙන්නේ
ඔබගේම රුවමයි
ඇසුණොත් ඇසෙන්නේ ඔබගේම හඬමයි

(‘ඔබ මාගෙ ලෝකෙ’ ගායනය: ධර්මදාස ලතා, තනුව: ආර්. මුත්තුසාමි)

ප්‍රේම්: නෙත් වසා සවනින් අසා ඇසුවත්
ඇසෙන්නේ ඔබ ගැනයි
කන් වසා දෙනුවන් අයා බැලුවත්
පෙනෙන්නේ ඔබ රුවයි

ගඟ කොතෙක් දුර සිට ගැලුවත්
ඉවර තැන මුහුදයි
සිත සිතූ සිතුවිලි වැලක් අග
ඔබේ පිය මුහුණයි
සඳ නැතත් තරු ගිලිහුණත් ඔබ
මගේ මිණි පහනයි
කොතැන හෝ ලොව හිඳින තැන
ඔබ එතැන රජ දහනයි

(ගායනය: සුජාතා අත්තනායක, තනුව: නවරත්න අත්තනායක)

කරු:සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියළි ගොඩබිම සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එකසේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ

(ගායනය: සිසිර-ඉන්ද්‍රාණි, තනුව: සිසිර සේනාරත්න)

මෙතරම් සමාන පදවැල් ලියැවෙන අතරතුරේ කරුටත් ප්‍රේම්ටත් වෙන වෙනම ශෛලීන් තිබිණ. ඇතැම් විටෙක කෙනෙකු අනෙකාගේ ආරූඪයෙන් නිර්මාණ කළ අවස්ථා දක්නට ලැබේ.බොහෝවිට ඒ කිසිවකුගේ අනන්‍යතාවයෙන් ගොඩනැගුණු ශිල්පියකුට ගීත ලිවීමේදීය.

ප්‍රේම් මොහිදීන් බෙග්ට ලියූ මේ ප්‍රකට ගීතය කරුගේ රචනාවක් බඳුවේ

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවිරාළ ගොඩට ඇවිල්ලා
ගලන දොළෙන් ඇඟ සෝදාලා
කිරළ ගහේ හෙවණට වීලා
නෙළුම් කොළේ එතැන තියාලා
ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා

(තනුව: මොහොමඩ් සාලි)

ෆ්රෙඩී සිල්වා විසින් මුල් කාලයේ ගායනා කරන ලද පහත සඳහන් ගීතය අබේසේකරගේ රචනයක් වුවත් එහි ඇත්තේ ප්‍රේමකීර්තිගේ ශෛලිය නොවේද?

ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිලෙන්න
පැඟිරි වයස මගෙ ආවා
මඟුලක් කරගෙන අයින අල්ලගෙන
ඉන්නට මගෙ හිත කීවා
ඉර හඳ තරුවැල් අතට ගෙනත් දෙන
කපු කප්පිත්තෙකු ලව්වා
මම මගෙ පබාවතී  හෙව්වා

(තනුව: මොහොමඩ් සාලි)

ඥාති සංකල්පනා

කරු සහ ප්‍රේම් කොළඹ හාදයෝ දෙදෙනෙකි. එහෙත් ඔවුහු වැඩි ඥාතීත්වයක් දැක්වූවෝ ගැමි වහරට හා සංස්කෘතියටය. තමන් සතු පරිකල්පන ශක්තියෙන් ඔවුහු එහි සැරිසැරූහ. කරු කොළඹ යුගයේ අංකුර කවියකු වූ අතර ප්‍රේමකීර්ති යනු ජන කවියකුම බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නිරීක්ෂණය වේ. අප සහෘදයන්ගේ සංකල්පනා විටෙක එකම අදහසේ ප්‍රතිබිම්බයන්ය  නැතහොත් දිගුවක් ලෙස ලියැවී ඇත. ගමක ජීවත් නොවූ කරුණාරත්න අබේසේකර පරමාදර්ශී සිංහල ගැමි යුවතිය පිළිබඳ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයට මේ සම්මානනීය ගීතය ලීවේය.

අරුණ උදයේ පිපුණ මලසේ
පිබිද මැලිකම් දුරැරලා
මුහුණ දොවලා මිදුල පිසලා
දෙගුරු කුලදෙවි නැමදලා
ගමන නාලිය වැනිය ඈ
පිය නගා ළිඳ වෙත දියට යයි
ළිපෙහි ගිනි දලු ලෙසට යුහුසුළු
ඇගේ ඉරියව් කඩිසරයි
වවයි මල්වතු වියයි පොල්අතු
ගොතයි බීරළු හැබ දමා
කොටයි වී ටික පළයි දර ගොඩ
උයා දෙන්නෙත් ඇය තමා
සිහල ආරිය සිරිත මේ ලිය
සියලු තැන්හිම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති
ගමේ සඳ මෙන් දිලෙනවා

(ගායනය: මිල්ටන් පෙරේරා, තනුව: ආර්.මුත්තුසාමි)

ඊට වසර කිහිපයකට පසු දෙමළ ගමක තරුණියකගේ දින චර්යාව ඔස්සේ, එහි ජන ජීවිතය විදහාපාන මේ අපූරු ගීතය වදනින් චිත්‍රණය කරද්දී ප්‍රේමකීර්ති යාපන ප්‍රදේශය දෑසින් දැක තිබුණේ නැත.

මන්නාරම්පිටි වැල්ලේ මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට සිංදු කියන්නී කුණ්ඩුමනී
නැහැයෙ කරාබුව දෙකනේ කඩුක්කං දමා
සියොලඟ මොට්ටැක්කිලියෙන් හැඩ කොට
වසා ඉඟ නමා
උළුදු කොටා තල වේලා
තල්පත මත ගිනි අව්වේ ලා
සෙම්බු තාලි උකුලෙ හොවා
ආඬි ළිඳෙන් දිය ඇදගෙන
ලූනු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්
පොල් ගහලා නළලේ අළු ගා
රණ්ඩු කරලා බැනුම් අහලා
හැංගි හැංගි ප්‍රේමෙ
මහරාජා ආකල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර
බලා හිඳිමි කීකරු වීලා

(ගායනය: ෆ්රෙඩී සිල්වා, තනුව: වික්ටර් රත්නායක)

එකම සංසිද්ධිය දෙස දෙපැත්තකින් බලන්නට ප්‍රේම් සහ කරු උත්සුක වූ අවස්ථා කිහිපයකි. ශ්‍රීමතී තිලකරත්නච ලියූ මේ ගී දෙක බලන්න.

ප්‍රේම්: හිරු ගෙනැවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා හව ට එන්නම්…

(තනුව: වික්ටර් රත්නායක)

කරු: මගේ පුතා සැපට නිදයි
කුටියෙ ඇඳිරියේ
අනේ සඳේ එබෙන්නෙපා කවුළුවෙන් රැයේ
හිත ගැහෙයි බයේ…  

(තනුව: සරත් බාලසූරිය)

වරෙක කරු, සිසිර සේනාරත්න හැදූ බටහිර ජෑස් සංගීත ආරේ තනුවකට මෙසේ පද බැන්ඳේය.

ආදරේ පෑ ඉරේෂා මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ නින්දෙදි වෙන්වෙලා….

මේ අතරේ ඉන්ද්‍රානි සේනාරත්න සිසිරගේම තනුවකට ප්‍රේම්ගේ පහත සඳහන් පදමාලාව ගායනා කරන්නට යෙදිණ

ඔබ ගතින් මා ළඟයි සිත ඈ සොයා යනවා
මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා…

සිතා මතා කළ දෙයක් නොවූවද කිසියම් ආකාරයක කතාබහකට තුඩු දෙමින් ගීත දෙකම එකසේ ජනප්‍රිය විය. එහෙත් ඉරේෂා යනු අන් කිසිවකු නොව සරස්වති දේවියට කියන තවත් නමකි. ඒ අනුව කරුගේ ගීතයෙන් කියවෙන්නෙ සරස්වතී බැල්ම හදිසියේ අහිමි වූ කලාකරුවෙකුගේ සිතුවිලිය. ප්‍රේම්ගේ රචනාව බිරිඳකගේ වදනින් ලියැවුණත් අංය ඉකුත් ගීතයට රසිකයන් දැක්වූ ප්‍රතිරාවයට කොතරම් ළඟද?

අප කතානායකයන් දෙදෙනාට කිසිදා අදහස් වලින් හිඟයක් වූයේ නැත. මිල්ටන් මල්ලවාරච්චිගේ විරහවට බර හඬට කරු මේ ගීතය ලියන්නට ඇත්තේ මැදි වයසට එළැඹෙද්දීය.

සුළඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
ගී පොතේහි මා ලියූ ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හැළූ කැලුම් ප්‍රියේ
පාසලේදී මා දිහා නෙත් කොණින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ

(තනුව: ක්ලැරන්ස් විජේවර්ධන)

පාසල් ප්‍රේමය පිළිබඳව ලියැවී ඇති සිංහල ගීත අතරින් යුගයෙන් යුගයට රසික හඳ බැඳගත් නිර්මාණයක්වන මෙහි, අනෙක් අන්තය ස්පර්ශ කරන්නට ප්‍රේම් සමත්විය.

මේ නගරය ඔබ මා මුණගැසුණ නගරයයි
මේ නගරය ඔබ මා වෙන් කෙරුණු නගරයයි

(ගායනයහා තනුව: මර්වින් පෙරේරා)

විශ්ව විද්‍යාලයක උගත්, නූගත් කාහට වුවද කටපාඩම් එම වදන් පෙළ සරසවි ප්‍රේමය පිළිබඳව අප දන්නා ජනප්‍රියම ගීතය වේ. එම ගීත දෙකෙන්ම කෙතරම් සියුම් ලෙස, සංයමයෙන් යුතුව විරහී ප්‍රේමවන්තයන් අමතන්නට ප්‍රේම් සහ කරු සමත් වන්නේදැ’යි සිතනු වටී. මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන් නිවන මෙබඳු සරල වදන් වැල් මේ දෙදෙනාත් ඔවුන්ගේ රසික සමූහයාත් එක් කරන මහා පොදු සාධකය වේ. 80 ගණන්වල ප්‍රේමකීර්ති සිය සංකීර්ණ ජීවිතයේ අත්දැකීම් හරහා ලියූ මේ ප්‍රකට ගීතය බලන්න.

මු එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අහුලාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වනතුරා ඉමු මිදුලට වීලා
හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පණිවිඩ යවමු
හෙටවත් ගෙදර ඒදැ’යි බලමින් හිඳිමු

(ගායනය: මාලනී බුලත්සිංහල, තනුව: ඔස්ටින් මුණසිංහ

මෙබඳු අත්දැකීමකට කිසිදා මුහුණ නොදුන් කරු 1967දී ‘දරුදුක’ චිත්‍රපටයේ එවන් සිදුවීමක් අළලා ලියූ මේ හැඟුම්බර ගීතය ප්‍රේම්ගේ ගීතයේ ප්‍රාරම්භක අවස්ථාව නොවන්නේද?

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ

දරුදුක මට මෙන් ඔහුට දැනේවා
පොඩිදුව හීනෙන් ඔහුට පෙනේවා
දැඩි සිත ඔහුගේ යළි උණු වේවා
යන එන මංවල සෙත සැලසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා

(ගායනය: සුජාතා අත්තනායක, තනුව: ටී. ෂෙල්ටන් පෙරේරා)

විරල ප්‍රේම් හා සරල කරු

ඉතා අසාමාන්‍ය කෝණයකින් කිසියම් අත්දැකීමක්,  අනුභූතියක් ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රේම්ගේ ගීතාවලිය පුරා විහිදී ඇත. කරුගේ ගී පොතෙහි කැපී පෙනෙන ලක්ෂණය සරල බවය. බෞද්ධ දර්ශනය පවා පද පේළි කිහිපයකින් පිඬුකොට දක්වන්නට කරු සමත් වූ අයුරු ‘ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ – අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ..’ (ගායනය: අමරදේව, තනුව: එඩ්වින් සමරදිවාකර) වැනි ගීතයකින් පැහැදිලි වේ. පොදුජනයා අතර අදත් රැව්දෙන්නේ ඔහු 50-60 ආදී දශකවල මොහිදීන් බෙග් ආදීන්ට ලියූ සරල බොදු ගීත ය.ප්‍රේමකීර්තිට 70 දශකයේදී වික්ටර් රත්නායක සමග බොදු ගී කලාව අමුතුම තැනකටගෙන යන්නට හැකිවිණ. ‘දෙව්රම් වෙහෙරේ’, ‘සාගර ජලය මදි’, ‘නිවන් දුටු හිමි’ විශිෂ්ට උදාහරණ වෙති.

සී.ටී. ප්‍රනාන්දුගේ ‘සඳවට රන්තරු’ වැනි මව්ගුණ ගීයකින් කරු අප නෙත් තෙත් කරන්නට තැත් කළ සේම පසුකලෙක ප්‍රේම් ‘ආදරයේ උල්පත වූ අම්මා’ වැනි ගීත හදේ ගැඹුරුම තැන රැඳවූයේය.

ජාතක කතාවක ආකෘතියෙන් රචිත, සුජාතා අත්තනායක චිත්‍රපටයකට ගැයූ ‘පුතුනේ මේ අහගන්න’ ගීතය කරුගේ ඉතා සියුම් සංකල්පනාවකි. ප්‍රේමකීර්ති 80 ගණන්වල එබඳුම ගීතයක් ‘රබානේ ඉපදී’ යනුවෙන්, විරිඳුවක ආධාරයෙන් ලලිත් කුමාර නමැති ගැටවර ගායකයාට ලිවීය. පළමු ගීතයේ ඇත්තේ කුරුලු කැදැල්ලකට ලෝ පාලන දෙවිඳුන් කළ උපකාරයකි. දෙවැන්නෙන් ලෙහෙනුන් පවුල හා ශක්‍රයා සම්බන්ධ ජාතක කතාව කියැවේ.

කරු වඩාත් අපූර්ව අනුභූතීන් සොයා ගියේ ළමා ගීත රචනා කිරීමේදීය. ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘කියන්න සුළඟේ’ ආදී කරු එසැණින් ලියූ ගී නිර්මාණ 60-70 දශකවල ගුවන්විදුලිය ඇසූ දරුවන් ප්‍රබෝධමත් කළ අතර ටයිටස් තොටවත්තයන්ගේ ‘සැකිලි රූ’ ගීත තුළින් ප්‍රේම් එබඳු තිළිණ 80 ගණන්වල ටෙලිවිෂන් දරුවන්ට පිරිනමයි. ගීත රචකයකු ලෙස මුහුකුරා යද්දී ප්‍රේම් බොහෝ විරල අනුභූතීන් සොයා ගියේය. කරු තව තවත් සරල ආකාරයෙන් සියුම් අත්දැකීම් විස්තර කරන්නට තැත් දැරූ බවක් පෙනෙන්නට තිබේ. 70 දශකයේ මැද භාගයේ දෙදෙනා සිය ලකුණු දැරූ මහා ගායකයන්ට ලියා දුන් මේ පද මාලාවන්හි ඇති සමාන බව ආහ්ලාදජනකය.

ප්‍රේම්: දිනක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළංවූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතුවීයැ’යි

(ගායනයහා තනුව: වික්ටර් රත්නායක)

කරු: සඳට අමතක හිරුට අමතක
යටගියාවේ තොරතුරු
ඔබට මතකය මටද මතකය
එය අතීතෙකි විසිතුරු
පෙර අනාවැකි අද සැබෑවකි
කල්පනා වේ එම කතා
කියා ලීවෙමි ලියා කීවෙමි
අනන්තයටම සිත සිතා
කුමුදු කුසුමයි සුමුදු පියුමයි
එකට පිපුණද එක විලේ
අඹර දෙරණත දෙරණ අඹරත
පෑහිලා නැත කිසි කලේ

(ගායනය: එච්.ආර්. ජෝතිපාල, තනුව: මොහොමඩ් සාලි)

මෙබඳුම සමීපකමක් පළකරන ප්‍රේම්ගේ සුප්‍රකට ප්‍රබන්ධයක් හා කරුගේ අප්‍රකට රචනාකි පහත දැක්වෙන්නේ

ප්‍රේම්: සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසම
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක් සේ
ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින
ජීවත් වෙන්නට කිසිවක් ඉල්ලා සිටියා
කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි
එදා මගේ හද අරගත්
ඔබ හද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එහෙම පිහිටවනු මැනේ

(ගායනය හා තනුව: වික්ටර් රත්නායක)

කරු: සඳ ඉල්ලා හිරු ඉල්ලා වැළපෙන
කිරි දරුවෙකු විලසේ
උදයේ හවා රැයෙහි දිවා ලුහුබැඳ
ඇවිදින් හැම දවසේ
ඔබේ ආදරය සිඟා කමින් ආ
අසරණ අවධිය මට මතකයි

දෙතොලඟ නංවා කුලුණු සිනා
නැති බැරි ඔබ මට පිහිට වුණා
මගේ ගිනි නිවා ඔබේ සෙවණෙ හිඳ
සනහස වැළඳූ බව මතකයි

මුල මැද මැවි මැවි යසට පෙනේ
හඳුනමි සලකමි කෙළෙහි ගුණේ
ගිමන් නිවාලන සඳුන් විමානය
මම ගිනි නොතියමි කිසිම දිනේ

(ගායනය: මිල්ටන් පෙරේරා, තනුව: සරත් ද අල්විස්)

දෙමගකින් එකම ගමන ගිය එක ගමේ දෙදෙනා

අපේ රටේ විචාරකයෝ කරු සහ ප්‍රේම් දෙපසක තැබූහ.ඔවුන් දෙමගක යන්නවුන් ලෙස පූර්ව විනිශ්චයක සිටි බැවින් දෙදෙනාගේ සමානකම් නොදුටුවෝය. එහෙත් ප්‍රේම්ගේ රසිකයන් කරුටද කරුණාවන්ත වූ අතර කරුගේ සහෘදයෝ ප්‍රේම්ටද ආදරය දැක්වූහ. ඒ අන්කිසිවක් නිසා නොව දෙදෙනාම සරල මිනිසුන්ගේ අතට හසුවන ඇත්ත ගීයට නැගූ නිසායැ’යි සිතේ. සිය ජීවිතයේ අවසාන භාගයේ ප්‍රේම් ලියූ ගීයක කොටසක්ද ජනප්‍රියත්වයේ අගතැන්පත්ව සිටියදී කරු ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ චිත්‍රපටයට රචනා කළ පද පේළි කිහිපයක්ම ඔවුනොවුන්ගේ ජීවන දර්ශනයට කදිම ඉඟි වශයෙන් දැක්විය හැකිය.

කරු: රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පථළවට සම වන්නේ
ගුම්නද දීගංන දිවයන දියරළ වැලි මත වියැළෙන්නේ
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අප ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ

(‘වලාකුළක මෙන්’ ගායනය: ජී.එස්.බී. රාණි පෙරේරා, තනුව: එම්.කේ. රොක්සාමි)

ප්‍රේම්: මුහුද ගොඩ එනතුරා කඳු මුදුන් ඇත උසප
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමුවුණෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන

(‘වැස්සකට ඉඩ ඇතත්’ ගායනය: නන්දා මාලිනී, තනුව: එච්.එම්. ජයවර්ධන)

වඩාත්ම විස්මයජනක සමානතා අප්‍රකටය. කරුණාරත්නඅබේසේකර 1930 ජූනි 3 වැනිදා උපන් අතර ප්‍රේමකීර්ති 1947 ජූනි 3 වැනිදා උපත ලද්දෙකි. දෙදෙනාම වෘශ්චික ලග්නයේය. උපන් වෙලාවද බොහෝ සමාන බව කියනු ලැබේ. කොළඹ මරදාන, මාලිගාකන්දේ පදිංචිකරුවන් වූ මොවුන්ගෙන් කරුණාරත්න අබේසේකර නාලන්දයේ උගත්තේය. ප්‍රේමකීර්ති ආනන්දීයයෙකි. ගුවන්විදුලියේදී කරු ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ සම්පාදකවරයකුව සිට කාන්තා හා ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින් අකාලයේ විශ්‍රාම ගියේය  මුලින්ම කාන්තා හා ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ ප්‍රේම්, ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ සම්පාදකවරයකු වශයෙන් සිටියදී අකාලයේ ජීවිතයෙන් සමුගන්නට යෙදිණ. ඔහුගේ වයස අවුරුදු 42ක් විය. කරු ජීවත් වූයේ අවුරුදු 52කි.

වරක් කරු සිය ගෝලයාගේ උපන් දිනයට ලියා දුන් කවි දෙපදයෙකි මේ.

එකදා එකම එක ලග්නෙන් එකට      උපන්
උඹ මට වඩා මිනිසෙකු විය යුතුය     හපන්

එම ප්‍රාර්ථනාව අකුරට ඉටුකළ ප්‍රේම් අවුරුදු ගණනාවක් තිස්සේ කරුගේ අනුස්මරණ යෙදෙන දිනයට නොවරදවාම කවි පන්තියක් ලියා පළ කළේය  ඔහු පුවත්පත් වලට වැඩිපුරම කවි ලියා ඇත්තේ සිය ගුරුවරයා වෙනුවෙන් බව සඳහන් වේ. අවසන් වරට කරු ගැන ලියූ කවි කිහිපය ප්‍රේම් අවසන් කර තිබුණේ මේ අයුරිනි.

කළල ගිලුණු මත වරනිඳු ගොඩ   ගනිත
තුමුල බලැති ගිජිඳෙකු මිස අන්   කෙවත
සැබැ බව කියන්නට ඔබ මෙන්    සමත
ගුරුවරුනුත් ගෝලයනුත් අද       නොමැත.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved