• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A-%E0%B6%A9%E0%B7%93-%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ

July 13, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, ඩබ්. ඩී. අමරදේව, නීලා වික්‍රමසිංහ, වික්ටර් රත්නායක, සුනිල් ආරියරත්න

මිනිසා ඇතුළු සියළු ලෝක සත්ත්වයා නිර්මාණය වී තිබෙනුයේ ස්වාභාවික පරිසරයේ නියමයන්ට අනුවයි. ගැහැණිය පිරිමියාටත්, පිරිමියා ගැහැණියටත් ආකර්ෂණය වන අයුරින් බිහිවී ඇත්තේ මිනිස් ප්‍රජාවේ පැවැත්ම උදෙසාම වේ.

මේ ආකර්ශණයෙහි සීමාව ඉරක් ඇඳ පෙන්විය නොහැකි උවත්, විවිධ සංස්කෘතීන්ගේ බලපෑම සහ සමාජය විසින් පනවා ගෙන ඇති ආචාර ධර්ම සහ නීති වලට සීමා වෙයි. කෙනෙකුගේ සිත තුල ඇතිවන ප්‍රේමනීය සිතුවිල්ලක්, කාමුක සිතුවිල්ලක් බවට පත්වීමට ගතවෙනුයේ සුළු මොහොතකි.

මෙවැනි සිතුවිලි ඇතිකරගන්නා අයෙක්, එය සිත තුල සඟවාගෙන සිටිය හැක. තවත් කෙනෙක්, විරුද්ධ පාර්ශවයට අයුතු යෝජනාවක් කිරීමට ඉඩ තිබේ. සීමාව නොදන්නා කෙනෙක්, ඇතැම්විට හිංසනයට පවා යොමුවිය හැක. කෙනෙකුගේ හිත තුල රාගික සිතුවිල්ලක් ඇතිවීම ස්වාභාවික දෙයක් වුවත්, එතැනින් ඔබ්බට විය හැකි දේ තීරණය වනුයේ අප සමාජය තුලම ඇති ආචාර ධර්ම සහ නීති-රීති රාමුව මගිනි.

පිරිමියෙකු විසින් කාන්තාවකට අයුතු යෝජනාවක් කිරීම, බටහිර සංස්කෘතික බලපෑම් නිසා වර්තමාන සමාජය තුල ඇති වූවක් යැයි අපට සිතුනත්, සැබවින්ම එය එසේ නොවන බව පැරණි ජනකවි විමසා බැලීමෙන් අපට තේරුම් ගත හැක.

අතීතයේ දුර බැහැර ගමන් වල නියුතූ වූ අයගේ තාවකාලික නවාතැන වූයේ අම්බලම යි. වැසි වැටෙන අවස්ථාවක එක්තරා තරුණයෙක් අම්බලමකටවී හිඳී. අම්බලම අසලින් ගමන් කරන තරුණියකි. එවිට මේ තරුණයාට ඇය ගැන රාගික හැඟීමක් ඇතිවී ඇයට මෙවැනි යෝජනාවක් කරයි.

අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
සැමියෙක්‌ නැතිව නුඹ තනිමඟ කිමද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

වර්තමානයේ කෙනෙක් මෙවැනි යොජනාවක් කළහොත්, තරුණිය අකමැති නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. නමුත් මේ සිදුවීමේ එන තරුණියට එවැනි සහනයක් නොතිබුනි. එහෙත් ඇය අවස්ථානුකූලව සිතා මෙවැනි පිළිතුරක් දුන්නාය.

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
යඤ්ඤං අයියණ්‌ඩි ගම රට දුර හින්දා

අතීතයේ තරුණියක් ගමන් යද්දි ඇගේ ආරක්ෂාව සඳහා තමන්ගේම හෝ ඥාතිවන සොයුරෙකු කැටුව යෑම සිදුවිය. “අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න – අදින් පසුව මේ පාරෙන් ඔබ තනියෙම එන්න” යනුවෙන් ජෝතිපාල මහතාගේ ගීතයක කොටසක්ද තිබේ.

තමන් දරුවෙකු සිටින විවාහක කාන්තාවක් බවත්, ඇගේ ආරක්ෂාවට ඥාති සොහොයුරෙක් පසුපසින් පැමිණෙන බවත් පවසා ඇය උපායශීලීව තරුණයාගෙන් බේරී ගියාය. මාතෘත්වයට අප සමාජයේ ගරුකිරීමක් තිබෙන නිසා ඇය යෙදූ උපාය නිවැරදිය. බටහිරින් පැමිණි සංකල්පයක් අනුව අද මව්වරුන්ගේ දිනය ලෙස සැමරුවත්, අප සතුව ඇත්තේ සෑම දිනකම මාතෘත්වය අගය කරන සමාජයකි.

තරුණයා මඟහැර ගිය තරුණිය නිහඬව නොසිටියාය. ටික දුරක් ගොස් තරුණයාට සරදමක් කළේ මෙසේය.

අල්ලාගෙන නෙරිය මඩ ගෑ වුණෙත් නැතී
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරිත් නැතී
බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැතී
බිලිඳෙක් තියා මා දීගෙක ගියෙත් නැතී

සුනිල් ආරියරත්න මහාචාර්ය තුමා, ‘නඟේ නඟේ වැහි එනවා’ ගීතය රචනා කරද්දී උක්ත ජන කවි වල ආභාශය ලැබුනාද යන්න ගැන අදහසක් මාහට ඇතිවිය. කෙසේ නමුත් ජන කවි කියූ සාමාන්‍ය ගැමියන්ටත් වඩා සංයමයකින් මහාචාර්ය තුමා මේ ගීය ලියා තිබේ. අමරදේව සූරීන් එයටම ගැලපෙන තනුවකින් මේ ගීය අලංකාර කර ඇත.

වික්ටර් රත්නායකයන්ගේ අනුරාගී පිරිමි කටහඬත්, නීලා වික්‍රමසිංහ ගේ අවිහිංසකත්වය පිරුණු ගැහැණු කටහඬත් මේ ගීය උච්චත්වයකට රැගෙන ගොස් ඇත

————————————————————-

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ…

වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ…

ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ…

කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ…

————————-
Janaka Boralessa

විරහව

February 8, 2018 by admin
Janaka Boralessa, අජන්තා රණසිංහ, ආදරය, කරුණාරත්න දිවුල්ගනේ, ජනක බොරලැස්ස, ජයරත්න ගමගේ, ඩබ්. ඩී. අමරදේව, ප්‍රේමකීර්ති ද අල්විස්, මහගමසේකර, යමුනා විනෝදනී, රත්න ශ්‍රී විජේසිංහ, විරහව, සුනිල් එදිරිසිංහ

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

ගීත සාහිත්‍යය ගැන කතා කිරීමේදී, පද රචකයන්ගේ වැඩිම අවධානය යොමුවෙලා තිබෙන්නෙ ‘ආදරයට’ බව අපට හොඳින්ම පෙනෙන දෙයක්. එසේම ඊට නොදෙවෙනි මාතෘකාව තමයි විරහව. ආදරයයි විරහවයි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. ඇතැම් අයට, ආදරය ගැන ලියවී ඇති ගීත වලටත් වඩා හදවතට දැනෙන්නෙ විරහ ගීතය. ඉහතින් දක්වා ඇති, සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන, කරුණාරත්න විජේවර්ධනයන්ගේ තනුවට, ඩිෂාන් නානායක්කාර විසින් රචිත ගීතයත් එවැන්නක්.

විවිධ පුද්ගලයන් විරහවට මුහුණ දෙනුයේ විවිධ අයුරින්. ඇතැමෙක් විරහව සුන්දර ලෙස විඳින අතර තවෙකෙක් විරහවෙන් පීඩාවට පත්වී අවසානයේ ජීවිතයටද සමුදෙනවා. එසේත් නැතිනම් නම් විරහව වෛරයක් බවට පත්වී අවසන් වනුයේ ඛේදාන්තයකින්. ප්‍රේමය හෝ විරහව පුද්ගලයන්ගේ හිත තුල ඇතිවන‍, පුද්ගල හැසිරීම් බොහෝ සෙයින් වෙනස් කල හැකි මනෝභාවයක්.

ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි

(ප්‍රේමකීර්ති ද අල්විස්- යමුනා විනෝදනී)

විරහව ගීතයකින් ප්‍රකාශ කිරීමේදී ඇතැම් පද රචකයන් බොහෝ සංයමයෙන් කටයුතු කර ඇති බව පෙනී යන දෙයක්. මේවාට උදාහරණ නම් අනන්තයි. විරහව නිසා ජීවිතයෙන් පලායනවා වෙනුවට, විරහව ජීවිතයේ පාඩමක් බවට පත් කරගත් අවස්ථා ගැන ලියැවී ඇති ගීත බොහෝයි.

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

විරහවේ කටුක අද්දැකීම් වලින් පසු ‘තනිකම’ තම පෙම්වතිය බවට පත් කරගත් තරුණයෙකු ගැන මෙසේ ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්. මෙවැනි ගීත තුලින් විරහවෙන් පෙළෙන්නන්ට ලැබී ඇත්තේ සහනයක් මිස වේදනාවක් නම් නොවෙයි.

විරහව පදනම් ව ලියැවී ඇති ඇතැම් ගීත තුලින් දැනෙන්නේ සරළ බව පරයා යන සාහිත්‍යමය හැඟීමක්. විප්‍රලම්භ ශෘංගාරය යනු අප ප්‍රකම්පනයට පත්කරන සාහිත්‍යය රසයකි.

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

(පන්ඩිත් අමරදේව- මහගමසේකර)

ඇතැම් විරහ ගීත වලින් අපට අත්හැරීම හුරු කලා.

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

(පන්ඩිත් අමරදේව- අජන්තා රණසිංහ)

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

(කරුණාරත්න දිවුල්ගනේ – රත්න ශ්‍රී විජේසිංහ)

ඇතැම් විට විරහව යනු දරා ගැනීමට නොහැකි වේදනාවක්. විරහවේ අන්තයටම ගිය විට ඉන් පෙළෙන්නා දකින්නේ මරණය උවත් සහනයක් ලෙසයි. ඔවුන්ට නැවතත් ප්‍රේමය උවමනා නැත. ඇතැම් විට ඔවුන් ප්‍රාර්ථනා කරනුයේ තමා හැරගිය පෙම්වතාට හෝ පෙම්වතියට, තමා විඳින මානසික වේදනාව කිසිදිනෙක නොලැබේවා යනුවෙනි. එය බොහෝ විට තමන් සිටිනා මානසික තත්වය අනුව ඇතිවන අහිංසක, අවංක පැතුමකි. ආදරයේ අන්ධ භාවයෙන් කරන පැතුමක් නොවේ. මුලින්ම දක්වා ඇති ගීතයත් එවැන්නකි.

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න

(සුනිල් එදිරිසිංහ – ජයරත්න ගමගේ)

විරහව තරම් තමන්ට ලං නොවන දෙයක් තවත් නැති තරම්. ආදරය අහිමි වූ කල, විරහව නිර්මල බව දැනෙන නිසයි ඇතැමෙක් විරහවට පෙම් බඳින්නේ. විරහව ගැන, විරහ ගීත ගැන ලිවිය හැකි දේ අනන්තයි. නමුත් ඉතිරිය ලිවීමට ඔබට භාර කර මේ සටහන මෙතැනින් නවත්වමි.

ලබන්නාවූ 2017 නව වසර සතුට පිරුණු සෞභාග්‍යමත් එකක් වේවායි පතමි.

-ජනක බොරලැස්ස-

Sudu Neluma

සුදු නෙළුම

February 5, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, ඩබ්. ඩී. අමරදේව, ශ්‍රී විජේසිංහයන්

ගීතයක් දෙස මතුපිටින් බලනවා වෙනුවට, ඒ ගැන තරමක් හෝ ගැඹුරින් අධ්‍යයනයක් කරන්නේ නම් ගීතයේ නාද මාලාව, මිනිස් කටහඬ / ගායන විලාශය සහ පදමාලාව ගැන වෙන්වෙන්ව විමසිය යුතුය. සංගීත භාන්ඩ ඇසුරින් බිහිවෙන, තාල සහ ස්වර මගින් භාව උද්දීපනය කරමින් නිමවෙන ශුද්ධ සංගීතය වඩාත් මුදු මොළොක් සහ කණට මිහිරි ගීතයක් බවට පත් කරනුයේ මිනිස් කටහඬ මගිනි.

එය වඩාත් අර්ථ පූර්ණ ගීතයක් වනුයේ පදමාලාව තුලිනි. සංගීතය ‘පරතෙරට’ හැදෑරූ බොහෝ ශිල්පීන් මුල් තැන දෙනුයේ ශුද්ධ සංගීතයටයි. ඔපෙරා වැනි සංගීතාංග වලදී මිනිස් කටහඬටද ඉහල තැනක් හිමිවේ.

සිංහල ගීත විචාරය කරන බොහෝ දෙනෙකු තම අවධානය යොමුකරන්නේ පදමාලාව කෙරෙහිය. එහි වැරැද්දක් මා දකින්නේ නැත. මන්ද, ඇතැම් පදමාලාවන්ට, සංගීතය හදාරා ඇති සහ සංගීතය හදාරා නැති සෑම අයෙකුගේම සිත් සසල කල හැකි බලයක් තිබෙන බව හැඟීයන බැවිනි. එවැනි ඇතැම් පදමාලා යතාර්ථයට ඔබ්බෙන් ඇති වෙනත් ලොවකට ශ්‍රාවකයා රැගෙන යයි.

සිංහල ගීතයේ පහන්ටැඹක් බඳු සම්මානනීය ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත, ආචාර්ය පන්ඩිත් අමරදේවයන් ගායනා කරන ‘සුදු නෙළුම’ ගීතයත් එවැන්නකි.

මේ ගීතය ගැන රත්න ශ්‍රී වියතානන්ගේ වදනක් මෙසේ දක්වමි.

“ඒ ගමට එදා විස්සකට තිහකට වැඩි පිරිසක් පැමිණ සිටියේ නැත. දෙමාපියන් පවා සිය දියණිය වෙනුවෙන් කඳුළු නොසැළූහ. ජීවිතයේ බොහෝ දුක් අනුභව කොට සිටි ඔවුන්ගේ නෙත් සිඳී තිබිණ. එහෙත් සිය සූ සැට වන ජන්ම දිනයේ උපහාර පිදුම් ලබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන්, මහැදුරු සරච්චන්ද්‍රයන් වේදිකාවේ මුලසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද, සුදු නෙළුම ගීය ගයද්දී ඇතැම්හු කඳුළු සැළූහ. ඒ කඳුළු, මල් නෙළන්නට ගොස් කළලෙහි එරී, වැව් දියේ ගිලී මියගිය ඒ දස හැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?”

—————————————

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

—————————-

සටහන – ජනක බොරලැස්ස

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved