• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83

Muhudu Pathula Yata Indala

මූදු පතුල යට ඉඳලා

September 4, 2018 by admin
Gunasena Galappatty, Janaka Boralessa, Mahagama Sekara, ගුණසේන ගලප්පත්ති, ජනක බොරලැස්ස, මහගමසේකර

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණකැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා…
.
දශක ගනනක් අපේ දෙසවනට ඇසුණු මේ ගීතය ඇතුලත් වුනේ ගුණසේන ගලප්පත්ති – මහගමසේකර සුසංයෝගයෙන් බිහිවුන මූදු පුත්තු වේදිකා නාට්‍යයේ. මෙකී නාටකයේ සියලුම ගීත රචනා කරන ලද්දේ මහ‍ගමසේකර ශූරීන් විසින්.
මූදු පුත්තු වේදිකා නාට්‍යය බිහිවුනේ ස්පාඤ්ඤ ජාතික කිවිඳු හා ලේඛක ෆෙඩරිකෝ ගාර්ෂියා ලෝකා (Federico García Lorca) ගේ යෙර්මා (Yerma-1934) නාට්‍යය ඇසුරින්. යෙර්මා හි කථා තේමාව වුනේ ස්පාඤ්ඤයේ පිටිසර පෙදෙසක වෙසෙන, දරුවන් නොමැති වීම නිසා සමාජ හා මානසික පීඩනයෙන් පෙළෙන විවාහක කාන්තාවකගේ කටුක ජීවිතයේ ශෝකාන්තයයි.
යම්තාක් දුරට යෙර්මා හි කථා තේමාවට අනුගත වුවත් මූදු පුත්තු වේදිකා නාට්‍යය බිහිවුනේ ගුණසේන ගලප්පත්ති නාට්‍යවේදියානන්ගේ සීයා මුහන්දිරම් කෙනෙකු ලෙස ජීවත් වූ ගම්පියස වූ දික්වැල්ල ප්‍රදේශයේ ජනජීවිතය පදනම් කරගෙනයි.
මෙහි කථා නායිකාව ධීවරයෙකුගේ බිරිඳක් (සරා). ඇය දරුවන් නැති සොවින් පෙළෙන්නියක්. අවට සමාජයෙන් සහ ඇගේ හිත තුලින්ම වන පීඩනය ඇයට දරාගන්නට බැහැ. සැමියා (තේගිරිස්) මුහුදු රැකියාවට ගියපසු දැනෙන තනිකම ඇයට දරාගන්නට බැහැ. ඇයට සැමියාගේ ආදරය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඇය දරුවෙකු ලබාගන්නට වෙනත් අයෙකුගේ පිහිට පතනවා. ඒ තමයි ඇගේ සැමියාගේම සොහොයුරා (දියෝනිස්).

“බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි
ළමැද දෙතන පුඩු උඩට හැරෙන්නේ
කුසෙහි පුතුට නිදි යහන සදන්නයි
පළල උකුල පටු ඉඟට ලැබෙන්නේ
නියම කලට තන කිරට පෙරෙන්නයි
නහර පුරා ලේ දහර දුවන්නේ
පුතෙකු නොමැති කල ඒ කිරි ලේමයි
සිරුර දවන විස බවට හැරෙන්නේ”
.
කෙසේ හෝ ඇය ඇගේ බලාපොරොත්තුව ඉටුකරගන්නවා. දැන් ඇය දරු සුරතල් බලන කාලයයි.
.
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
.
යෙර්මා නාට්‍යයේ, සැමියා (Juan) හුදෙක්ම මුදල් ගැන හිතන කෙනෙකු නිසා ඔහුට දරුවන් ගැන කැමත්තක් නෑ. ඒ නිසා යෙර්මා තුල සැමියා පිළිබඳ ඇතිවන්නේ වෛරයක්. ඇගේ හිත හැදීමට වෙනත් අයෙකු (victor) පැමිණියත් ඇගේ බලාපොරොත්තුව තම සැමියා වෙතින්ම දරුවෙකු ලබාගැනීම. ඇගේ බලාපොරොත්තුව ඉටුනොවන බව දැනගන්නා යෙර්මා අවසානයේ තම සැමියා මියයන තුරු ඔහුගේ ගෙල මිරිකනවා. ඇය අවසානයේ විලාප නගනුයේ “කවුරුත් එන්න එපා. මම මගේ පුතා මැරුවා” යනුවෙන්.
.
ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයේ “සරා” දරු සෙනෙහස විඳිනවා. දරුවා ගැන රහස කිසිවෙකු දන්නේ නැහැ. ඇගේ සැමියා හිතන්නේ මේ තමන්ගේ දරුවා බවයි. ඒ නිසා තේගිරිස්ගේ ආදරය දරුවාට ලැබෙනවා. එසේම තම ලෙයින් උපන් දරුවාට සරා ගේ මස්සිනා වූ දියෝනිස් ගෙන්ද ලැබෙන්නේ නොමඳ වූ ආදරයක්.
.
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා..
.
මෙවැනි අසම්මත මාතෘකාවක් වේදිකාවට රැගෙන ඒම ගැන එකල යම් යම් විරෝධතා මතු වුවත් මෙය අසමසම අතිවිශිෂ්ඨ නිර්මානයක් බව අවිවාදයෙන් සඳහන් කල යුතුය. කොන්ස්ටන්ටීන් ස්ටැනිලව්ස්කි හඳුන්වා දුන් තත්විධ රංග ක්‍රමය (Stanislavski’s system) මෙරට වේදිකාවේ අත්හදා බැලූ පළමු අවස්ථාව එය විය.
මුල් අවධියේ නාට්‍යයේ ස්වර මාලා සෝමදාස ඇල්විටිගල සංගීතවේදියානන් විසින් නිර්මානය කල අතර ජයතිස්ස අලහකෝන් විසින් සංගීතය මෙහෙයවන ලදී. මූදු පතුල යට ඉඳලා ගීතයේ මුල් ගායනය නිර්මලා බාලසූරිය විසිනි.

පාංකිරිත්තා

පාංකිරිත්තා

August 21, 2018 by admin
Freddie Silva, Janaka Boralessa, Premakeerthi De Alwis, ජනක බොරලැස්ස, පාංකිරිත්තා

උපහාසය හා හාස්‍ය මුසු ගී පද රචනා වර්ථමානයේ බිහිවනුයේ ඉතා කලාතුරකිනි. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා එවැනි උපහාසය හා හාස්‍ය මුසු ගී පද රචනා නිර්මාණයේ පුරෝගාමියා වූ බව සැවොම දන්නා කරුණකි. උපහාසයේ හා අපහාසයේ වෙනස හොඳින් ගැනීමට ඉවහල් වූ එවැනි ගීත වලින් සමාජයට ලැබුනේ ඉතා වටිනා පණිවුඩයක්.
.
උපහාසාත්මක ගීත ගායනයේ ප්‍රමුඛයා වුනේ ජනාදරයට පත් විකට නළු සහ ගායක ෆ්‍රෙඩී සිල්වා. “පාංකිරිත්තා, හඳමාමා උඩින් යතේ, දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා, අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ, අලුත් කලාවක් හොයාගත්ත මං දියුණුවෙන්න ඕනෑ නම්, පරණ කෝට්” වැනි උපහාසාත්මක ගීත රැසක් ෆ්‍රෙඩී සිල්වා විසින් ගායනා කලා.
.
ආදරණීය ප්‍රේම් අතින් මෙවැනි උපහාසාත්මක ගීත ලියුවුනේ ෆ්‍රෙඩී සිල්වා වෙනුවෙන් පමණක් නොවේ. මළ පොතේ අකුරු බෑ කී මිනිහා (මාලනී බුලත්සිංහල), මිනිසෙකු පිට නැගි අසරුවෙකි (සුනිල් එදිරිසිංහ), කන්ද කෙන්ද කරනු පිනිස (මාලනී බුලත් සිංහල) තවත් එවැනි ගීත කිහිපයක්.
.
මේ ගීත අතරින් “පාංකිරිත්තා” ගීතය කුඩා කාලයේ සිටම සිතෙහි රැඳුණු ගීතයක්. ඒ නිසාම ගීතයෙන් කියවෙන අවස්ථාව දළ සිතුවමකට නැගුවෙමි. ගීතයෙන් කියවෙන සියුම් උපහාසය අපි හැමෝටම වැදගත්.
…………………………………………………………………………………………………….

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි
.
පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ
.
පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා
.
අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා……
.
ගායනය – ෆ්‍රෙඩී සිල්වා
පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ

July 13, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, ඩබ්. ඩී. අමරදේව, නීලා වික්‍රමසිංහ, වික්ටර් රත්නායක, සුනිල් ආරියරත්න

මිනිසා ඇතුළු සියළු ලෝක සත්ත්වයා නිර්මාණය වී තිබෙනුයේ ස්වාභාවික පරිසරයේ නියමයන්ට අනුවයි. ගැහැණිය පිරිමියාටත්, පිරිමියා ගැහැණියටත් ආකර්ෂණය වන අයුරින් බිහිවී ඇත්තේ මිනිස් ප්‍රජාවේ පැවැත්ම උදෙසාම වේ.

මේ ආකර්ශණයෙහි සීමාව ඉරක් ඇඳ පෙන්විය නොහැකි උවත්, විවිධ සංස්කෘතීන්ගේ බලපෑම සහ සමාජය විසින් පනවා ගෙන ඇති ආචාර ධර්ම සහ නීති වලට සීමා වෙයි. කෙනෙකුගේ සිත තුල ඇතිවන ප්‍රේමනීය සිතුවිල්ලක්, කාමුක සිතුවිල්ලක් බවට පත්වීමට ගතවෙනුයේ සුළු මොහොතකි.

මෙවැනි සිතුවිලි ඇතිකරගන්නා අයෙක්, එය සිත තුල සඟවාගෙන සිටිය හැක. තවත් කෙනෙක්, විරුද්ධ පාර්ශවයට අයුතු යෝජනාවක් කිරීමට ඉඩ තිබේ. සීමාව නොදන්නා කෙනෙක්, ඇතැම්විට හිංසනයට පවා යොමුවිය හැක. කෙනෙකුගේ හිත තුල රාගික සිතුවිල්ලක් ඇතිවීම ස්වාභාවික දෙයක් වුවත්, එතැනින් ඔබ්බට විය හැකි දේ තීරණය වනුයේ අප සමාජය තුලම ඇති ආචාර ධර්ම සහ නීති-රීති රාමුව මගිනි.

පිරිමියෙකු විසින් කාන්තාවකට අයුතු යෝජනාවක් කිරීම, බටහිර සංස්කෘතික බලපෑම් නිසා වර්තමාන සමාජය තුල ඇති වූවක් යැයි අපට සිතුනත්, සැබවින්ම එය එසේ නොවන බව පැරණි ජනකවි විමසා බැලීමෙන් අපට තේරුම් ගත හැක.

අතීතයේ දුර බැහැර ගමන් වල නියුතූ වූ අයගේ තාවකාලික නවාතැන වූයේ අම්බලම යි. වැසි වැටෙන අවස්ථාවක එක්තරා තරුණයෙක් අම්බලමකටවී හිඳී. අම්බලම අසලින් ගමන් කරන තරුණියකි. එවිට මේ තරුණයාට ඇය ගැන රාගික හැඟීමක් ඇතිවී ඇයට මෙවැනි යෝජනාවක් කරයි.

අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
සැමියෙක්‌ නැතිව නුඹ තනිමඟ කිමද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

වර්තමානයේ කෙනෙක් මෙවැනි යොජනාවක් කළහොත්, තරුණිය අකමැති නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. නමුත් මේ සිදුවීමේ එන තරුණියට එවැනි සහනයක් නොතිබුනි. එහෙත් ඇය අවස්ථානුකූලව සිතා මෙවැනි පිළිතුරක් දුන්නාය.

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
යඤ්ඤං අයියණ්‌ඩි ගම රට දුර හින්දා

අතීතයේ තරුණියක් ගමන් යද්දි ඇගේ ආරක්ෂාව සඳහා තමන්ගේම හෝ ඥාතිවන සොයුරෙකු කැටුව යෑම සිදුවිය. “අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න – අදින් පසුව මේ පාරෙන් ඔබ තනියෙම එන්න” යනුවෙන් ජෝතිපාල මහතාගේ ගීතයක කොටසක්ද තිබේ.

තමන් දරුවෙකු සිටින විවාහක කාන්තාවක් බවත්, ඇගේ ආරක්ෂාවට ඥාති සොහොයුරෙක් පසුපසින් පැමිණෙන බවත් පවසා ඇය උපායශීලීව තරුණයාගෙන් බේරී ගියාය. මාතෘත්වයට අප සමාජයේ ගරුකිරීමක් තිබෙන නිසා ඇය යෙදූ උපාය නිවැරදිය. බටහිරින් පැමිණි සංකල්පයක් අනුව අද මව්වරුන්ගේ දිනය ලෙස සැමරුවත්, අප සතුව ඇත්තේ සෑම දිනකම මාතෘත්වය අගය කරන සමාජයකි.

තරුණයා මඟහැර ගිය තරුණිය නිහඬව නොසිටියාය. ටික දුරක් ගොස් තරුණයාට සරදමක් කළේ මෙසේය.

අල්ලාගෙන නෙරිය මඩ ගෑ වුණෙත් නැතී
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරිත් නැතී
බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැතී
බිලිඳෙක් තියා මා දීගෙක ගියෙත් නැතී

සුනිල් ආරියරත්න මහාචාර්ය තුමා, ‘නඟේ නඟේ වැහි එනවා’ ගීතය රචනා කරද්දී උක්ත ජන කවි වල ආභාශය ලැබුනාද යන්න ගැන අදහසක් මාහට ඇතිවිය. කෙසේ නමුත් ජන කවි කියූ සාමාන්‍ය ගැමියන්ටත් වඩා සංයමයකින් මහාචාර්ය තුමා මේ ගීය ලියා තිබේ. අමරදේව සූරීන් එයටම ගැලපෙන තනුවකින් මේ ගීය අලංකාර කර ඇත.

වික්ටර් රත්නායකයන්ගේ අනුරාගී පිරිමි කටහඬත්, නීලා වික්‍රමසිංහ ගේ අවිහිංසකත්වය පිරුණු ගැහැණු කටහඬත් මේ ගීය උච්චත්වයකට රැගෙන ගොස් ඇත

————————————————————-

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ…

වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ…

ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ…

කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ…

————————-
Janaka Boralessa

දොරට වැඩුම

දොරට වැඩුම

June 19, 2018 by admin
Janaka Boralessa, කුමාරතුංග මුණිදාස සූරීන්, ජනක බොරලැස්ස, මාලනී බුලත්සිංහල

කුමාරතුංග මුණිදාස සූරීන්ගේ ‘දොරට වැඩුම’ කවි පන්තිය බොහෝ දෙනෙකුට පාසල් යන වයසේදී කියවන්නට ලැබුනේ එය පෙළ පොතෙහි ඇතුලත් වූ බැවිනි. මෙය එකල අපේ ළමා මනසට කොතරම් කාවැදුනාද යන්න අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.

මෑතදී මේ කවි පන්තිය පොතක් ලෙස මුද්‍රණය වී ඇති බව අසන්නට ලැබුණි. මවිසින් මේ කවි පන්තිය පොත් සාප්පු වල සහ අන්තර්ජාලයේ සෙවූ මුත් හමු නොවීය. නමුත්, එයටත් වඩා වටිනා දෙයක් හමුවුණි. එනම් දොරට වැඩුම කවි පන්තියෙහි ගායනයකි. කුමරතුඟු වියතාණන් පෝෂණය කළ හෙළ බස නිවැරදිව උච්චාරණය කිරීමට මාලනී බුලත්සිංහල මහත්මිය ගෙන ඇති වෙහෙස මේ කවි පන්තියට සවන්දීමෙන් ඔබට වැටහේවි.

උසස්‌ වින්දන ශක්‌තියක්,‌ නිර්මාණශීලිත්වයක්‌ මෙන්ම හැදියාවක්‌ ඇති ජනතාවක්‌ මෙරට බිහි කිරීමට දායකවන මෙවැනි නිර්මාණ අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් ඉවත් කිරීම කණගාටුවට කරුණකි. සාහිත්‍යය, කලාව, මිනිස්කම් ක්‍රමයෙන් දියාරු වෙමින් පවතී. අධ්‍යාපන ක්‍රමය දැන් බිහිකරනුයේ යාන්ත්‍රික මිනිසුන්ය. වර්තමාන සමාජයටද අවශ්‍ය යාන්ත්‍රික මිනිසුන්ය. අපේ බොහෝ වියතුන්ද මේ සමාජ ක්‍රමයට අනුගත වී, ‘මැටි මෝල්’ තීරණගන්නා ඇතැම් දේශපාලඥයන්ගේ බැළයන් වී සිටීම ජාතියේ අවාසනාවකි.

අප සෑමදෙනෙකුම පාහේ මේ භෞතිකවාදී යාන්ත්‍රික සමාජයේ කොටස්කරුවන්ය. සෑම දෙයක්ම තීරණය වනුයේ මුදල් මතය. කලාව, සාහිත්‍යය පවා සමාජගත වනුයේ එහි සෞන්දර්යාත්මක වටිනාකම මත නොව, මිල මතයි. අප සියළු දෙනාම අද මුදල් සෙවීමේ තරඟයෙහි දුවමින් සිටිමු. අපට සොබාදහම, සමාජ බැඳීම්, යුතුකම් සියළුදේ මතක් වනුයේ තරඟයේ අවසානයට පැමිණ වෙහෙස වූ විටයි.

නවීනත්වය හඹායන මිනිසුන් මේ යතාර්ථය කවදා තේරුම් ගනීවිද?

—————————

උදෑසන මැ කිමැ ඉර අද
කුරුළු ගෙදරැ මඟුලෙක් වෙ ද
සුභ මොහොතක් ළඟැ යැ නොම ඳ
යව රැස් මට පළමු විහිද

මඟුල කිමද එතැන පැවැති
කුරුළු පැටව් දොරට වඩිති
මා එන තෙක් බලා ඉඳිති
යමි යමි ඉක්මන් කර නිති

කැඳවීමක් එයි ඔබටත්
ලැබුණු සැටී සුළඟ බලත්
ඔව් ඔව් ඉක්මන් නැතිවත්
වරදී වේලාව නකැත්

සුදෝ සුදු රැ වලාකුලෙනි
ඇයි මේ සිල් ගත්තා වැනි
මඟුලට කළු නොනිසි බැවිනි
එනු හැර අපි යමු මෙ හිතිනි

කුසුමෙනි ඇයි වෙන්නෙ සිනා
නැත්නම් මඟුලට නොමනා
පැටවුන් එළියට වඩනා
හැටි බලමූ අපි තුටිනා

මඟුල් ගෙදර හඬක් ඇසී
විසිතුරු ඇඳුමෙන් සැරසී
ගී ගයමු ද සිනා සි සී
කුරුළු යහළුවෙනි එක සී

අපගේ දරුවන් එළියට
වඩනා මේ දවසේ අපට
නැත්තේ නම් මහත් සතුට
ඔබටද ඇත්තේ සැබැවට

කපුටු හාමි නොසිට ළඟින්
ඇයි ඉන්නේ අස්වැ මගින්
ගිනි සැර පිට කරන අගින්
දඬු කඳ නොපෙනෙ ද එ දිගින්

අර කූඩුව මැදින් දිනක්
යන්නට කළ නිසා තැතක්
එදඬුව අප දෙදෙනෙකු ලක්
කළ සැටි මට වේ ය මතක්

හා අර පැටවුන් දෙන්නා
එබී කූඩුයෙන් ඉන්නා
දෙමාපියන් සතුටින්නා
අසළ ගසක රඟ දෙන්නා

හිරු දෙවි බබලවයි පහන
වලා ඉහල කෙරෙයි වියන
සුළඟ හමයි සිහිල රැගෙන
මල් සුවඳින් පහදයි මන

ගී ගයමින් කුරුළු සෙනඟ
ඉඳිති හාත් පස තුරු අග
බලා ඉඳී පුනු දොර ලඟ
ඉඳිකඩ උන් මවද සමඟ

නකැත හොදයි කීය පියා
මව ඉන් ඉදිරියට ගියා
මඟ හැම වස් දොස් හැරියා
එක පැටියෙක් හැඹී පියා

පසුවැ පැමිණ සුබ මොහොතින්
දෙවෙනියාද පියා පතින්
වැඩ ගති පැමිණියෝ හිතින්
හිතට සතුට යැවූ නෙතින්

================
Janaka Boralessa

Victor Rathnayake

පාළු රැයක දෑස පළා – වික්ටර් රත්නායක

June 5, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, ප්‍රේමකීර්ති ද අල්විස්, වික්ටර් රත්නායක

විරහව උත්සන්න ම කර ලියූ පද රචනය කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත්, ඔබට ඕනෑ තරම් ගීත මතක් වේවි.

පන්ඩිත් අමරදේවයන් ගායනා කළ,…. ‘මා මළ පසු සොහොන් කොතේ..’
නන්දා මාලිනියගේ,… ‘මා හඬනා කඳුළු ගලා..’
මහාචාර්ය සනත් නන්දසිරිගේ,…. ‘සොවින් පිරි මගේ හදවත’,
සුනිල් එදිරිසිංහයන්ගේ,… ‘මේ කඳුළු බිංදුව’
ගුණදාස කපුගේ ගේ,… ‘දුක හාදු දෙන රැයේ..’
ජෝතිපාලයන්ගේ,… ‘පාළු සුසානේ…’
ෂෙල්ටන් පෙරේරාගේ,…. ‘අවසන් ලියුමයි ඔබට ලියන්නේ‍..’
මිල්ටන් මල්ලවාරච්චිගේ,… ‘අඳුර වැටුණු වීදියේ’..’
මිල්ටන් පෙරේරාගේ,… ‘කොමළ ලියා.. බොළඳ ලියා..’
ප්‍රියා සූරියසේනගේ… ‘නිල් මහනෙල් මල කිම මේ සරදම්..’,
ටී.එම්. ගේ,… ‘සිතින් මා නොසැලී හිඳිද්දී…’
මාලිනී බුලත්සිංහල ගේ…., ‘හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬුමට’…
වික්ටර් රත්නායකයන්ගේ,… ‘එපා හිරු පායන්න’ වැනි ගීත ඔබට මතක් වේවි.

නමුත් මේ කිසිදු ගායන ශිල්පියෙකු හෝ ශිල්පිනියක්, වර්තමාන විරහ ගී ගායකයන් මෙන්, කඳුළු වගුරුවමින් විරහව මුහුණෙන් පෙන්වන්නට උත්සාහ කළේ නැත. විරහව ශ්‍රාවකයා තුලට රැගෙන ආවේ ඔවුන්ගේ කටහඬ තුලින්මය.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනාකල එතරම් ජනප්‍රිය නොවූ විරහ ගිතයක් තිබේ. ‘විරහව උත්සන්න ම කරමින්’ ඔහු ගැයූ ගීය මෙය යැයි මට සිතේ. පද මාලාව ලියුවේ කවුරුන්දැයි නොදනිමි. එහි ඇති වචන අනුව බොහෝ විට මෙය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියූවක් විය යුතුය.

මේ ගීතය අසන සංවේදී ශ්‍රාවකයෙකුගේ දෙනෙත කඳුළු වලින් පුරවාලන්නට, වික්ටර් රත්නායකයන් සමත් වේ. ඔහු එසේ කරනුයේ ඔහුගේ හඬිනි. ප්‍රවීණත්වය යනු එයයි.

පාළු රැයෙක දෑස පළා
ගැලූ කඳුළු සදා රකිමි
ඔබේ කඳුළු ඔබට වඩා
ළයේ තබා මම සුරකිමි

මටත් වඩා මට පෙම් කළ
ඔබ ගැන මම කවක් ලියමි
සදාතනික ආදරයක
සිහිටවනය ඔබෙන් නෙළමි

නටඹුන්වූ ආදරයක
සුන්බුන් මැද සදා සරමි
අප ගිය මඟ දුහුවිලි ගෙන
ඔබේ දෙපා සුවඳ සොයමි

අප හමුවූ අප වෙන්වු
අහස යටම හඬා වැටෙමි
ඔබ හැර මට පතන්න තව
කෙනෙක් නොමැත තනිව මියෙමි..
—————————
Janaka Boralessa

විරහව

February 8, 2018 by admin
Janaka Boralessa, අජන්තා රණසිංහ, ආදරය, කරුණාරත්න දිවුල්ගනේ, ජනක බොරලැස්ස, ජයරත්න ගමගේ, ඩබ්. ඩී. අමරදේව, ප්‍රේමකීර්ති ද අල්විස්, මහගමසේකර, යමුනා විනෝදනී, රත්න ශ්‍රී විජේසිංහ, විරහව, සුනිල් එදිරිසිංහ

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

ගීත සාහිත්‍යය ගැන කතා කිරීමේදී, පද රචකයන්ගේ වැඩිම අවධානය යොමුවෙලා තිබෙන්නෙ ‘ආදරයට’ බව අපට හොඳින්ම පෙනෙන දෙයක්. එසේම ඊට නොදෙවෙනි මාතෘකාව තමයි විරහව. ආදරයයි විරහවයි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. ඇතැම් අයට, ආදරය ගැන ලියවී ඇති ගීත වලටත් වඩා හදවතට දැනෙන්නෙ විරහ ගීතය. ඉහතින් දක්වා ඇති, සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන, කරුණාරත්න විජේවර්ධනයන්ගේ තනුවට, ඩිෂාන් නානායක්කාර විසින් රචිත ගීතයත් එවැන්නක්.

විවිධ පුද්ගලයන් විරහවට මුහුණ දෙනුයේ විවිධ අයුරින්. ඇතැමෙක් විරහව සුන්දර ලෙස විඳින අතර තවෙකෙක් විරහවෙන් පීඩාවට පත්වී අවසානයේ ජීවිතයටද සමුදෙනවා. එසේත් නැතිනම් නම් විරහව වෛරයක් බවට පත්වී අවසන් වනුයේ ඛේදාන්තයකින්. ප්‍රේමය හෝ විරහව පුද්ගලයන්ගේ හිත තුල ඇතිවන‍, පුද්ගල හැසිරීම් බොහෝ සෙයින් වෙනස් කල හැකි මනෝභාවයක්.

ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි

(ප්‍රේමකීර්ති ද අල්විස්- යමුනා විනෝදනී)

විරහව ගීතයකින් ප්‍රකාශ කිරීමේදී ඇතැම් පද රචකයන් බොහෝ සංයමයෙන් කටයුතු කර ඇති බව පෙනී යන දෙයක්. මේවාට උදාහරණ නම් අනන්තයි. විරහව නිසා ජීවිතයෙන් පලායනවා වෙනුවට, විරහව ජීවිතයේ පාඩමක් බවට පත් කරගත් අවස්ථා ගැන ලියැවී ඇති ගීත බොහෝයි.

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

විරහවේ කටුක අද්දැකීම් වලින් පසු ‘තනිකම’ තම පෙම්වතිය බවට පත් කරගත් තරුණයෙකු ගැන මෙසේ ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්. මෙවැනි ගීත තුලින් විරහවෙන් පෙළෙන්නන්ට ලැබී ඇත්තේ සහනයක් මිස වේදනාවක් නම් නොවෙයි.

විරහව පදනම් ව ලියැවී ඇති ඇතැම් ගීත තුලින් දැනෙන්නේ සරළ බව පරයා යන සාහිත්‍යමය හැඟීමක්. විප්‍රලම්භ ශෘංගාරය යනු අප ප්‍රකම්පනයට පත්කරන සාහිත්‍යය රසයකි.

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

(පන්ඩිත් අමරදේව- මහගමසේකර)

ඇතැම් විරහ ගීත වලින් අපට අත්හැරීම හුරු කලා.

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

(පන්ඩිත් අමරදේව- අජන්තා රණසිංහ)

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

(කරුණාරත්න දිවුල්ගනේ – රත්න ශ්‍රී විජේසිංහ)

ඇතැම් විට විරහව යනු දරා ගැනීමට නොහැකි වේදනාවක්. විරහවේ අන්තයටම ගිය විට ඉන් පෙළෙන්නා දකින්නේ මරණය උවත් සහනයක් ලෙසයි. ඔවුන්ට නැවතත් ප්‍රේමය උවමනා නැත. ඇතැම් විට ඔවුන් ප්‍රාර්ථනා කරනුයේ තමා හැරගිය පෙම්වතාට හෝ පෙම්වතියට, තමා විඳින මානසික වේදනාව කිසිදිනෙක නොලැබේවා යනුවෙනි. එය බොහෝ විට තමන් සිටිනා මානසික තත්වය අනුව ඇතිවන අහිංසක, අවංක පැතුමකි. ආදරයේ අන්ධ භාවයෙන් කරන පැතුමක් නොවේ. මුලින්ම දක්වා ඇති ගීතයත් එවැන්නකි.

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න

(සුනිල් එදිරිසිංහ – ජයරත්න ගමගේ)

විරහව තරම් තමන්ට ලං නොවන දෙයක් තවත් නැති තරම්. ආදරය අහිමි වූ කල, විරහව නිර්මල බව දැනෙන නිසයි ඇතැමෙක් විරහවට පෙම් බඳින්නේ. විරහව ගැන, විරහ ගීත ගැන ලිවිය හැකි දේ අනන්තයි. නමුත් ඉතිරිය ලිවීමට ඔබට භාර කර මේ සටහන මෙතැනින් නවත්වමි.

ලබන්නාවූ 2017 නව වසර සතුට පිරුණු සෞභාග්‍යමත් එකක් වේවායි පතමි.

-ජනක බොරලැස්ස-

ගැමි සුවඳින් කලා කෙත පෝෂණය කළ සාහිත්‍යවෙිදියා – පොඩිරත්න අඟමලේ

February 5, 2018 by admin
Janaka Boralessa, ජනක බොරලැස්ස, පොඩිරත්න අඟමලේ

තුන්වන ශ්‍රේණියෙන් පාසල් දිවිය නිමකළ නමුත්, 2013 සහ 2014 වර්ෂවලදී රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයද නියෝජනය කළ නිහඬ සාහිත්‍යවෙිදියා ඔහුය.

ව්‍යක්තව සිංහල හා දෙමළ භාෂා හසුරවන භාෂා ප්‍රවීණයා ඔහුය.

බස් රියදුරෙකු ලෙස බොහෝ කාලයක් සේවය කර, පසුව රියදුරු උපදේශකවරයකු හා ඩිපෝ මාර්ග පරීක්ෂකවරයකු වැනි තනතුරු දැරූ, ගැමි සුවඳ හඳුනන කවියා ඔහුය.

කාව්‍ය, ගීත, කෙටිකතා සංග්‍රහ, ළමා කතා සහ ජනශ්‍රැති පර්යේෂණ වැනි කෘති විස්සක් පමණ පාඨකයාට දායාද කළ නිහතමානී ගැමියා ඔහුය.

වරෙක ඔහු මෙසේ ලියයි.

“කෙස් ගසක් තිබිලා කෑම පිඟානේ
ඇයි මේ හැටි හිත රිදවන්නේ..
ඔබ නේද කුඩේ යට හැංගීලා
මගේ කේස කලාපෙට
දුන්හිඳ ඇල්ලයි කීවේ….”

ගැමි දිවිපෙවෙත හා සසඳද්දී සංකීර්ණවූ නාගරික ජීවිතය කටුක බව ඔහු පවසන්නේ මෙලෙසින්.

“ලක්ෂ ගණන කෝටිය කරගන්නට
දුක්විඳ වෙහෙසෙන්නේ
තිස්සෙම උවදුරු සැක සංකාවන්
සිත්බිය ගෙන දෙන්නේ..
ලස්සන ඇතිරිලි යහනට තිබුනට
ඇස් නැහැ නිදියන්නේ
හිස්බව පමණයි
පස්යට සැඟවෙනදා අරගෙන යන්නේ…”

එදිනෙදා අපට හමුවෙන මිනිසුන් තුල දැකිය හැකි මනුස්සකම්, බෝසත් කම් සහ නෑදෑකම් වල යතාර්ථය ඔහු දකින්නේ මෙලෙසින්.

“මත් වතුරට දුම් වැටියට
අතවනනා මනුස්සකම
බත් කටකට කහට පොදට
මසුරුකමේ පැනයන හැටි
අන්න බලන් හිතමිතුරේ
මනුස්සකම..

පවසට පැන් පොදක් නැතිව
ගෙදර බුදුන් දුක් යාදිනි
දාන, ශීල. භාවනාව
පිළුණු වෙලා බුදු කුටියේ
අන්න බලන් හිත මිතුරේ
බෝසත් කම..

දුකට අරෝවට නුදුටුව
සුසුමකදිත් ලඟ නොසිටිය
සුදට සුදේ පිරුවට ඇඳ
විස්සෝපෙන් මළගම් යන
අන්න බලන් හිතමිතුරේ
නෑදෑ කම….”

පොඩිරත්න අඟමලේ නැමති අප්‍රමාන මිනිසා කියවීමට සහ ඔහු ගැන සටහනක් ලිවීමට මගේ හිත ඉඟිකළේ, ඔහු විසින් රචිත සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතය ඇසුනායින් පසුවයි..

“හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්”

රියදුරෙකු ලෙස සේවය කරන අවධියේ සිදුවූ අත්දැකීමක් ඇසුරෙනුයි ඔහු මේ ගීතය ලියන්නෙ.

“වරක් ඔහු රියදුරු රැකියාව නිමවී ගෙදර එද්දි පොඩි පුතාට හොඳටම අසනීප වෙලා. ඔහු පුතාවත් රැගෙන රෝහලට යනවා.
එදින ඔහුට දිවා ආහාරය ගන්න වෙන්නෙත් නෑ, පුතා අසනීප වී අඬන නිසා ඇයට රාත්‍රී ආහාරය උයන්න වෙන්නෙත් නෑ.
ඔහු තේ එකක් බීලා නිදාගන්නවා.

පසු දින උදේ ඔහු නැගිටලා වැඩට යන්න සූදානම් වෙන්නේ කඩෙන් බත්මුලක් අරන් දවල්ට කනවා කියලා හිතාගෙන.
ගෙදරින් පිටත් වෙන්න හදද්දිම ඔහුව පුදුම කරවමින් බිරිඳ ලොකු බත්මුලක් ඔහුට ගෙනත් දෙනවා.

දවල් ඒ බත්මුල කන්න හදද්දි ව්‍යාංජන හතර පහක් බත් පතේ තියෙනවා. කෑම කාමරයම බත්පතේ සුවඳින් පිරෙනවා.

“මූ ඊයෙ හොඳට ගෑනිට සලකලා. බලපල්ලකෝ මඟුල් ගේකටත් වඩා බත් එක ජයයි” යනුවෙන් මිතුරන් ඔහුට විහිළු කරනවා. ‘.

ඔහුට ඒ බත්මුල කන්න හිත දෙන්නෑ. ඔහු බත් කටවල් දෙකක් කාලා යාළුවන්ට බත් එක කන්න ඉඩදීලා එතැනින් ඉවත්වෙනවා.

පසුකලෙක එම අත්දැකීමෙන් පාදක කොටගෙන ඔහු මේ ගීතය ලියනවා.

අසා බලන්න කොතරම් හදවතට දැනෙන ගීතයක්ද?

පොඩිරත්න අඟමලේ සාහිත්‍යවේදියානන්ට දීර්ඝායු පතමි.

—————————————————————-

සටහන – ජනක බොරලැස්ස

19-01-2018

ගමන නොනිමෙයි ලෝකයේ මේ...........

ගමන නොනිමෙයි ලෝකයේ මේ………..

February 5, 2018 by admin
Janaka Boralessa, ආර්. මුත්තුසාමි, චන්ද්‍රරත්න මානවසිංහ, ජනක බොරලැස්ස, නාරද දිසාසේකර, සිකුරු තරුව

ගමන නොනිමෙයි ලෝකයේ මේ………..

චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත, නාරද දිසාසේකර මහතා ගයන මේ ගීතය අහන ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ මහත් සැහැල්ලුවක්…

නව පරපුරේ, අළුතින් හතු පිපෙන්නා වාගේ බිහිවන ගීත සහ මියුසික් වීඩියෝ ඇසුවාම/බැලුවාම ඇතිවන්නේ ඇත්තටම කලකිරීමක්. බොහෝ විට හැම ගීතයකම තියෙන්නේ යාන්ත්‍රිකව නිපදවූ එකම නාද රටා / එකම පදවැල් / එකම වචන. එක ගීතයක් දෙතුන් පාරක් ඇසූවිට නැවතත් අහන්න හිතෙන්නේ නෑ, නැවත මතක් වෙන්නෙත් නෑ.

(හැම ගීතයකම තියෙන්නේ මළගෙවල් වල ඇහෙනවා වගේ අඳෝනා… ඔයා නිසා, කඳුළු ඉවරයි, තනිවෙලා අඬඅඬා, ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ, ඉවසන්න බෑ, තනිකලේ නෑ ඔයා, හිත ගොළු වෙලා, නෙතු අතරින් රූරාලා, හීනයේ තනිව මං උන්නා, බලා ඉඳලා ඇතිවෙලා වගේ පොදු වචන මාලාවක්.)

අළුතෙන් බිහිවන බොහෝ ගායක ගායිකාවන් සහ ඔවුන්ගේ ගීත (හැමෝම නොවේ) ඇත්තෙන්ම වැස්සට දළු ලන එරඬු දඬු වගේ. මුලක් හරයක් නෑ. ටික කාලෙකින් වේලිලා යනවා.

මගේ විවේචනය ගැන පරස්පර අදහස් ඇති අය ඉඳීවි. මෙය හණමිටි අදහසක් ලෙස දකීවි. ඒක එකිනෙකාගේ රසඥතාවයේ වෙනස. මේ ගීතය වරක් අසා බලන්න. මෙවැනි ගීත තවත් පරම්පරා ගනනක් නොනැසී පවතීවි. එයයි සත්‍යය..!
………………………………………………….

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ //

වැටෙන මල් පෙති පාවුණාවේ
සුළං රැළි ඔහෙ යන අතේ
යළිත් ගහ කොළ පාළු නෑනේ
රිකිළි නංවා ලියැලැවේ…

ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ…
ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ….

කොහේද සීතල ජලාශයක රැළි
ගැටී ගැටී එයි සුළං වැදී
අපේම සිරුරේ අපේම දහදිය
නිවී නිවී යයි සුළං වැදී….

ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ..

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ..

ගලා බසී දිය පහර සෙමින්
වැලි තලා සදා සමතලා බිමේ
හැපී ගලක යළි සලා වැටුම් දී
නගා නගා හඬ දිවේ දිවේ…

ගැටෙන සැප දුක මාරු වී
යයි පුරුදු ජීවන මං තලේ…

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ………………

—————————————————

ගී පද – චන්ද්‍රරත්න මානවසිංහ
ගායනය – නාරද දිසාසේකර
සංගීතය – ආර්. මුත්තුසාමි
චිත්‍රපටය – සිකුරු තරුව

Previous »

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved